Artemis II ගගනගාමීන් රැගත් Orion යානය මේ වන විට ඇත්තේ පෘථිවියට කිලෝමීටර 185,000ක් ඈතින්, පැයට කිලෝමීටර 40,000ක පමණ වේගයකින් සමීප වෙමින්. පැසිෆික් සාගරයට ඉහළින් පෘථිවි වායුගෝලයට ඇතුළු වන Orion කැප්සියුලය, සැලසුම් කර ඇති පරිදි මෙරට වේලාවෙන් හෙට පෙරවරු 5:37ට පමණ සැන් දියේගෝ මුහුදු කලාපයට පහත් වීමට නියමිතයි.
ඔවුන් ගමන් කළ කිලෝමීටර 1,118,624 ක් දිගු සම්පූර්ණ ගමන් මඟේ අවදානම අතින් ඉහළ ම අවස්ථාව ලෙස සැලකෙන්නේ ආපසු එන ගමනේ ඇති අවසාන කිලෝමීටර 200කට ආසන්න දුර ප්‍රමාණයයි.
මෙහෙයුම ඇරැඹුණු මොහොතේ සිට ගගනගාමීන්ගේ ජීවනාලිය බඳු වූ යුරෝපානු සේවා මොඩියුලය පෘථිවි කක්ෂයේ දී ගලවා දමන Orion කැප්සියුලය පෘථිවි වායුගෝලයට ඇතුළු වන්නේ පැයට කිලෝමීටර 40,000කට පමණ ආසන්න ප්‍රවේගයකින්. එනම් ශබ්දයේ වේගය මෙන් 30 ගුණයක වේගයකින්. එය කෙතරම් අධික වේගයක් දැ යි කිවහොත්, එම වේගයෙන් ගමන් කළහොත් ඔබට ටෝකියෝවේ සිට නිව් යෝක් දක්වා ගමන් කිරීමට ගතවන්නේ විනාඩි 20ක් පමණයි.
මේ හේතුවෙන් වායුගෝලයට ඇතුළු වූ පසු කැප්සියුලයේ තාප ආවරණ පළිහ පුරා සෙල්සියස් අංශක 2,760 සිට 3,000 දක්වා පමණ වන අධික උෂ්ණත්වයක් විහිදී යයි. මෙලෙස අධික චාලක ශක්තිය තාපය ලෙස පිටකර හරින විට Orion සතු වේගය සීඝ්රයෙන් මන්දගාමී වන අතර, එය ඉදිරියෙන් ඇති වාතය ඉතා වේගයෙන් සම්පීඩනය වීම නිසා අධි-තාප ප්ලාස්මා කම්පන තරංගයක් ද නිර්මාණය වනවා.
මෙම අදියරේ දී, Orion කැප්සියුලය ගිනි ජාලාවකින් වටවනු ඇති අතර, ගගනගාමීන් හට කවුළුවලින් පිටත දැල්වෙන ප්ලාස්මා දිස්වනු ඇති. මෙම අදියරේ දී පොළොවට පහත් වීම රළු සහ කැලඹිලි සහිත එකක් වනු ඇති අතර, යානය වටා ඇති ප්ලාස්මා ආවරණය හේතුවෙන් කෙටි කාලයකට භූමි පාලක මධ්‍යස්ථානය සමඟ ඇති සන්නිවේදන සබඳතා බිඳ වැටෙනවා.
එම අවස්ථාව වන විට, Orion යානය පැසිෆික් සාගරයට ඉහළින් අඩි 26,500 ක උන්නතාංශයකින් පවතිනු ඇති නමුත්, තවමත් පහළට එමින් තිබෙන්නේ පැයට කිලෝමීටර 523ක පමණ අධික වේගයකින්. පළමු පැරෂූට කට්ටලය මුදාහැරෙන්නේ මේ අවස්ථාවේ දීයි. මෙලෙස දිගහැරෙන්නේ යානයේ ඉදිරිපස ආවරණ අංශයට අයත් (මීටර් 2.1ක විෂ්කම්භයක් සහිත වන පැරෂූට තුනයි. ඉන්පසු ව, ප්‍රධාන පැරෂූට ක්‍රියාත්මක වීමට පෙර යානයේ ගමන තවදුරටත් ස්ථායී කිරීම සඳහා අඩි 25,000ක උන්නතාංශයක දී විෂ්කම්භය මීටර් 7ක් වන විශාල ‘ඩ්රෝග්’ (drogue) පැරෂුට දෙකක් දිග හැරීමට නියමිතයි. යානය අඩි 9,500 ක (මීටර් 2,896) උසකට පැමිණෙන විට පහළට ගමන් කරන වේගය පැයට කිලෝමීටර 209ක ට ආසන්න අගයක් දක්වා අඩු වී ඇති අතර, එහි දී සුමට පහත් වීමක් සඳහා වන ප්‍රධාන පැරෂුට මුදා හැරෙනවා. අවසානයේ කැප්සියුලය සැන් දියේගෝ ආසන්න පැසිෆික් සාගර කලාපයට පහත් වනු ඇත්තේ පැයට කිලෝමීටර 32කට ආසන්න වේගයකින්. ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට (11) පෙරවරු 5:37ට ආසන්නව මෙය සිදුවීමට නියමිතයි.
ගගනගාමීන් සාගරයට පහත් වූ කැප්සියුලයෙන් මුදාගැනීම සඳහා ගළවාගැනීමේ කන්ඩායම් රැගත් හෙලිකොප්ටර් යානා ගුවනට නැඟීමට නියමිත ව ඇත්තේ ඇමරිකානු නාවික හමුදාවට අයත් USS John P. Murtha නෞකාවෙන්.
from Vidusara Science Magazine https://ift.tt/5Ku4fJR
via Magazine




Post a Comment