ලොව පැරණිතම බූවල්ලා ලෙස මෙතෙක් හඳුනාගෙන තිබූ වසර මිලියන 300 ක් පැරණි පොසිලය, සැබවින්ම බූවල්ලෙකු නො වන බව විද්‍යාඥයින් විසින් නවතම පරීක්ෂණයකින් අනාවරණය කරගනු ලැබ තිබෙනවා.
එංගලන්තයේ රීඩින් විශ්වවිද්‍යාලයේ පෘෂ්ඨවංශී සත්ත්ව විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය තෝමස් ක්ලෙමන්ට්ස් ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදුකරන ලද මෙම අධ්‍යයනයෙන්, මෙම පොසිලය වර්තමාන ‘නොටිලස්’ (Nautilus) සත්වයා ද නෑකම් කියන ‘නොටිලොයිඩ්’ (Nautiloid) නම් සත්ත්ව කාණ්ඩයට අයත් බව හෙළි වී තිබෙනවා.
Pohlsepia mazonensis ලෙස නම් කර ඇති මෙම පොසිලය ඇමරිකාවේ ඉලිනොයිස්හි මැසොන් ක්‍රීක් ප්‍රදේශයෙන් හමු වී තිබුණා. මීට පෙර විද්‍යාඥයන් විශ්වාස කළේ එය අයත් ව සිටි සත්ත්වයා ඉපැරැණි බූවල්ලෙකු විය යුතු බවයි. කෙසේ වෙතත්, බූවල්ලන් පැවත එන බවට පිළිගැනෙන යුගයට වඩා, එනම්, වසර මිලියන 90කට වඩා මෙය බෙහෙවින් පැරණි වීම නිසා ඒ පිළිබඳව සැක මතු වී තිබුණා. 
පර්යේෂකයන් පවසන්නේ මෙම සත්ත්වයා මියගොස් වැළලීයාමට පෙර සති කිහිපයක් යනතුරු දිරාපත් වෙමින් තිබීම නිසා එහි බාහිර පෙනුම බූවල්ලෙකුගේ ස්වරූපයට සමාන වී ඇති බවයි. 2000 වසරේ දී මෙම පොසිලය මුලින්ම විශ්ලේෂණය කරන විට පැවති තාක්ෂණික සීමාවන් ද මේ වැරැදි සහගත වර්ගීකරණයට හේතු වී තිබෙන බව ඔවුන් සඳහන් කරනවා.
මෙම අබිරහස විසඳීම සඳහා පර්යේෂකයන් Synchrotron imaging නම් නවීන තාක්ෂණය භාවිතා කර තිබෙනවා. මෙය සූර්යයාට වඩා දීප්තිමත් ආලෝක කිරණ මඟින් ලොව බලවත්ම එක්ස්-කිරණ උත්පාදනය කරන ක්‍රමයක් වන අතර, එමඟින් පාෂාණමය මතුපිට නිසා නො පෙනෙන, ඒ යට සැඟවී ඇති සත්වයාගේ ශරීර කොටස් නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයන්ට හැකි වනවා.
මෙහි දී තීරණාත්මක සාධකය වූයේ සත්වයාගේ ආහාර ගැනීමේ ව්‍යුහය හෙවත් රැඩුලාව (Radula) පරීක්ෂාවට ලක් වීමයි. එහි දත් පේළියක දත් 11 ක් තිබූ අතර, සාමාන්‍ය බූවල්ලෙකුට පිහිටන්නේ දත් 7 ක් හෝ 9 ක් පමණයි. මෙම සුළු වෙනස මඟින් මෙය බූවල්ලෙකුට අයත් පොසිලයක් නො වන බව විද්‍යාත්මක ව තහවුරු වී තිබෙනවා.
මෙම සොයා ගැනීම පිළිබඳව අදහස් දක්වමින් තෝමස් ක්ලෙමන්ට්ස් පවසා සිටියේ, පුරාවිද්‍යාව යනු ‘දූවිලි පිරුණු’ විෂයක් පමණක් නොව, එය නවීන තාක්ෂණය මත පදනම් වූ නිර්මාණශීලී විද්‍යාවක් බවයි. නව තාක්ෂණය වඩාත් ලාභදායී සහ පහසුවෙන් ලබාගත හැකි වීම නිසා පොසිල පිළිබඳ පරීක්ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුවෙමින් පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා.
from Vidusara Science Magazine https://ift.tt/Gdgiv0n
via Magazine






Post a Comment