සඳ වටා පියාසැරිය ආරම්භ කිරීමට පෙර මෙතෙක් නම් නො කළ චන්ද්‍ර ආවාට දෙකක් නිරීක්ෂණය කළ Artemis II ගගනගාමීන්, ඒවාට දැමිය යුතු නම් දෙකක් ද යෝජනා කළා.
“ඔබ දුර පැත්තේ ඇති ඔරියන්ටේල් ද්‍රෝණිය සහ ඕම් ආවාටය අතර සරල රේඛාවක් ඇන්දොත්, සාපේක්ෂ වශයෙන් එහි මැදට වන්නට නම් නො කළ ආවාටයක් පිහිටා තිබෙනවා. අපි කැමතියි ඒක අනාගතයේ ‘ඉන්ටග්‍රිටි’ (Integrity) නමින් හැඳින්වෙනවා නම්.” ගගනගාමී ජෙරමි හැන්සන් සඳහන් කළා. ඒ ගගනගාමීන් විසින් Artemis II මෙහෙයුම සඳහා යොදාගැනෙන Orion යානයට ද ලබා දෙනු ලැබ ඇති නාමයයි.
“දෙවැන්න, අපේ කාර්යමණ්ඩලයට විශේෂයෙන් ම අර්ථවත් දෙයක්. අවුරුදු කීපයකට කලින් අපට ආදරණීයයෙක් අහිමි වුණා. ඇගේ නම කැරල්. රීඩ්ගේ බිරිඳ. කේටිගේ සහ එලීගේ අම්මා. [මේ ආවාටය] දීප්තිමත් එකක් වන අතර, අපි කැමතියි එය කැරල් (Carroll) යනුවෙන් නම් කරනවානම්.”
හැන්සන් සඳහන් කළේ සඳෙහි නො පෙනෙන පැත්ත සහ පෙනෙන පැත්ත වෙන් වන සීමාව ආසන්නයේ ‘සුන්දර ලෙස’ පිහිටා ඇති එය සඳෙහි පිහිටීම අනුව යම් අවස්ථාවල දී පෘථිවියට දිස්වන බවයි.
හැන්සන් මේ බව සඳහන් කරන විට ඔහු ආසන්නයේ සිටි මෙහෙයුමේ අණ දෙන නිලධාරී රීඩ් වයිස්මන් කඳුළු පිසදමමින් දෑත් මිටමොලවාගන්නා අයුරු ද පසු ව හැන්සන් වැළඳගන්නා අයුරු ද දැකිය හැකි වුණා. ගගනගාමීන් සිව් දෙනා ම එම අවස්ථාවේ සංවේදී වනු දැකිය හැකි වුණේ එම අවස්ථාව ඔවුනතර ඇති බැඳීම ඉස්මතු කෙරෙන මොහොතක් බවට පත් කරමින්.
රීඩ් වයිස්මන්ගේ බිරිය වූ කැරල් වයිස්මන් මිය යන්නේ 2020 වසරේ පිළිකා රෝගයකින්. ඒ වන විට ඇය 46 වැනි වියේ පසු වුණා. වෘත්තියෙන් ළමා වෛද්යවේද හෙදියක වූ ඇය 2003 දී වයිස්මන් හා අතිනත ගත් අතර, එලී සහ කැතරින් දියණියන් දෙදනාට උපත ලබා දුන්නා.
කැරල් හට පිළිකාවක් වැළඳී ඇති බව හෙළි වූ පසු රීඩ් සිය ගගනගාමියෙකු වීමේ සිහිනය අත්හැර දැමීමට උත්සාහ කළ නමුත්, ඇය ඊට ඉඩ ලබා නො දුන් බව සඳහන්.
from Vidusara Science Magazine https://ift.tt/TMod1Sv
via Magazine







Post a Comment