මඳකට සිතන්න, දහස් ගණනක් සැතපුම් ගෙවා ආහාර සොයා පැමිණෙන සංක්‍රමණික පක්ෂියෙකුට, තමා එනතුරු මල් පිපී තිබිය යුතු වනාන්තරය නිහඬ, මල් රහිත තැනක් බවට පත්ව තිබුණහොත් එය කෙතරම් බිහිසුණු ද? වසර 200ක පමණ දීර්ඝ කාලයක් පුරා එක්රැස් කරන ලද ශාක සාම්පල 8,000ක් පමණ සියුම් ලෙස විශ්ලේෂණය කළ නවතම විද්‍යාත්මක අධ්‍යයනයක් අපට පවසන්නේ, දේශගුණික විපර්යාස හේතුවෙන් නිවර්තන කලාපීය මල් පිපීමේ රටාවන් මාස ගණනාවකින් එහා මෙහා වී ඇති බවයි.
මෙතෙක් කලක් විද්‍යාඥයන් අතර පැවති පොදු මතයක් වූයේ නිවර්තන කලාපීය ප්‍රදේශ දේශගුණික විපර්යාසවලින් එතරම් බලපෑමකට ලක් නො වන බවයි. මෙම කලාපයේ උෂ්ණත්වය වසර පුරා සාපේක්ෂ ව ස්ථාවර ව පවතින බැවින්, ඍතු විපර්යාසයන් දැඩි ව දැනෙන උත්තර හෝ දක්ෂිණ ධ්‍රැවාසන්න රටවලට සාපේක්ෂ ව මෙහි ශාක සුරක්ෂිත යැ යි සිතුව ද, දත්ත අපට පවසන කටුක සත්‍යය ඊට වඩා වෙනස් බව පෙනීගොස් තිබෙනවා.
කොලරාඩෝ බෝල්ඩර් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පර්යේෂිකා ස්කයිලර් ග්‍රේව්ස් අවධාරණය කරන පරිදි, ලෝකයේ කිසිදු තැනක් දේශගුණික විපර්යාසවලින් තොර වන්නේ නැහැ. පෘථිවියේ ජෛව විවිධත්වයෙන් තුනෙන් එකක් දරන නිවර්තන කලාපයේ, වසරකට අලුතින් හඳුනාගැනෙන ශාක විශේෂ ප්‍රමාණය 180ක් පමණ වනවා. අප තවමත් හඳුනා නොගත් මෙවැනි දහස් ගණන් ජීවීන් අපටත් නො දැනීම ඔවුන්ගේ ස්වභාවික රිද්මය අහිමි කරගනිමින් සිටීම සමස්ත ලෝකයට ම බරපතල තර්ජනයක් බව ඇය පෙන්වා දෙනවා.
අධ්‍යයනයට අනුව, ඇතැම් ශාක විශේෂවල මල් පිපීමේ කාලය දින කිහිපයකින් නොව, මාස කිහිපයකින් වෙනස් වී තිබෙනවා. බ්‍රසීලයේ අමරන්ත් ශාකය (Brazilian amaranth) 1950 දශකයට සාපේක්ෂ ව අද වන විට දින 80ක් පමණ ප්‍රමාද වී මල් පිපෙන බව පෙනී ගොස් තිබෙනවා. එලෙස ම, ඝානාවේ රැට්ල්පොඩ් පඳුරු විශේෂය (Ghanaian rattlepod shrub) 1950 සහ 1990 අතර කාලය තුළ දින 17ක් වේලාසනින් මල් පිපීමට පටන් ගෙන තිබෙනවා.
මෙම වෙනසට හේතුව වන්නේ විවිධ ශාකවල මල් පිපීම සඳහා විවිධ පාරිසරික සංඥා හෝ උත්තේජනයන් භාවිතා කිරීමයි. පර්යේෂකයන් පෙන්වා දෙන්නේ දේශගුණික විපර්යාස මගින් මල් පිපීමට අවශ්‍ය උත්තේජනයන් වෙනස් කරන බැවින්, ඇතැම් විශේෂ වේලාසනින් මල් පිපෙන අතර අනෙක් ඒවායේ මේ ක්‍රියාවලිය ප්‍රමාද වන බවයි.
ඇතැම් ශාක දහවල් කාලයේ උපරිම උෂ්ණත්වයකට ප්‍රතිචාර දක්වන අතර, තවත් සමහරක් රාත්‍රී කාලයේ පවතින අවම උෂ්ණත්වයට සංවේදී වනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් මෙම උෂ්ණත්ව රටාවන් වෙනස් වන විට, එක ම වනාන්තරයක වුව ද ඇතැම් ශාක වේලාසනින් මල් පල දරන අතර තවත් ඒවා අසීමිත ලෙස ප්‍රමාදයට ලක් වනවා.
මල් පිපීමේ රටාවන් වෙනස් වීම යනු හුදෙක් ශාකයකට පමණක් බලපාන හුදකලා සිදුවීමක් නොවෙයි. එය මුළු පරිසර පද්ධතියම බිඳ දමන දාම ප්‍රතික්‍රියාවක් ඇති කරවනවා. විශේෂයෙන් ම පරාග කාරකයන් සහ පලතුරු අනුභව කරන සතුන් හට මේ නිසා දැඩි ආහාර හිඟයකට මුහුණ දීමට ද සිදු වනවා.
ස්කයිලර් ග්‍රේව්ස් පවසන පරිදි, පරිසර පද්ධති යනු අන්තර්ක්‍රියාවලින් සැදුම්ලත් ඉතා සියුම් ජාලයන් වන අතර, එහි පදනම වන ශාක වැනි එක් අංගයක් හෝ අසමතුලිත වුවහොත්, පරිසර පද්ධතියේ සෑම මට්ටමකම බිඳ වැටීමක් සිදුවිය හැකියි. මෙය මල් පැණි මත යැපෙන සංක්‍රමණික පක්ෂීන්ගේ පැවැත්මට ද සෘජු ව බලපානවා.
නිවර්තන කලාපය පිළිබඳ දත්ත ලබා ගැනීමේ දී පැවති විශාලතම අභියෝගය වී තිබුණේ දීර්ඝකාලීන ව ලබාගත් තොරතුරු හිඟකමයි. එය පැවතුණේ විද්‍යාෙව් අඳුරු කලාපයක් ලෙසයි. මෙම අඩුව පිරවීම සඳහා විද්‍යාඥයන් කෞතුකාගාරවල ඇති වසර සිය ගණනක් පැරණි වියළි මල් සාම්පල පරිශීලනය කළා. 1794 සිට 2024 දක්වා වූ වසර 230කට අධික කාලයක් ආවරණය වන පරිදි සිදු කළ මෙම විශ්ලේෂණයේ දී පෙනී ගොස් ඇත්තේ, සාමාන්‍යයෙන් සෑම දශකයකට ම දින දෙකක පමණ වෙනසක් මල් පිපීමේ රටාවල සිදුවන බවයි.
එඩින්බරෝ රාජකීය උද්භිද උද්‍යානයේ ආචාර්ය එමා බුෂ් පවසන්නේ, නිවර්තන කලාපයේ පවතින සංකීර්ණ සෘතුමය රටාවන් පිළිබඳව අප මෙතෙක් දැරූ අවබෝධය ප්‍රමාණවත් නොවන බවයි. පරිසර පද්ධතියක විවිධ අංග දේශගුණික විපර්යාසවලට විවිධ වේගයන්ගෙන් ප්‍රතිචාර දක්වන බවට ලැබෙන සාක්ෂි මෙම අධ්‍යයනයෙන් තවදුරටත් තහවුරු වනවා.
නිවර්තන කලාපීය වනාන්තර යනු පෘථිවියේ සෞඛ්‍යය තීරණය කරන ප්‍රධානතම අවයවයක්. අපගේ නිවහන වන මේ පෘථිවියේ පැවැත්ම රඳා පවතින සොබාදහමේ රිද්මය මෙලෙස බිඳී යන විට, එය හුදෙක් ගස්වැල්වලට පමණක් සීමා වූ ගැටලුවක් ලෙස බැහැර කළ නො හැකියි. දේශගුණික විපර්යාස හමුවේ නිවර්තන පද්ධති සංරක්ෂණය කිරීම සඳහා අප මෙතෙක් දැක්වූ උනන්දුවට වඩා වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය බව මෙයින් මොනවට පැහැදිලි වන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.
The Guardian ඇසුරිනි.
from Vidusara Science Magazine https://ift.tt/q53SFsX
via Magazine




Post a Comment