zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මියගිය තැනැත්තියකගෙන් ලැබුණු ගර්භාෂයකින් බ්‍රිතාන්‍යයේ උපත ලද පළමු බිළිඳා

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

මව් පදවිය යනු ලොව ඕනෑ ම කාන්තාවකගේ අතිශය පුද්ගලික වූත්, සුන්දර වූත් සිහිනයක්. එහෙත්, ඇතැම් කාන්තාවන්ට උපතින් ම උරුම වන ශාරීරික දුෂ්කරතා හේතුවෙන් මෙම සිහිනය සැබෑ කර ගැනීම කළ නො හැක්කක් ලෙස පෙනෙන්නට තිබෙනවා. එංගලන්තයේ ග්‍රේස් බෙල් ද එවැනි එක් කාන්තාවක්. ඇය සහ ඇගේ සහකරු ස්ටීව් පවෙල් හට පසුගිය දෙසැම්බර් මාසයේ දී ‘හියුගෝ’ නම් පුත් රුවනක් ලැබුණේ වෛද්‍ය විද්‍යාවේ නව මානයන් විවර කරමින්. ලන්ඩනයේ ක්වීන් චාලට් සහ චෙල්සි රෝහලේ දී කිලෝග්‍රෑම් 3.09ක බරින් යුතු ව උපත ලැබූ හියුගෝගේ බිහි වීම බ්‍රිතාන්‍ය වෛද්‍ය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන්නේ, ඔහු, මියගිය දායකයෙකුගෙන් ලබාගත් ගර්භාෂයක් බද්ධ කිරීමෙන් බ්‍රිතාන්‍යයේ උපත ලැබූ ප්‍රථම බිළිඳා වන බැවින්.

තොරතුරු තාක්ෂණ වැඩසටහන් කළමනාකාරිනියක වන ග්‍රේස් බෙල් උපතින් ම Mayer-Rokitansky-Küster-Hauser (MRKH) සින්ඩ්‍රෝමය නම් දුර්ලභ තත්ත්වයෙන් පීඩා විඳි අයෙක්. මෙම තත්ත්වය නිසා ඇයට උපතින් ම ගර්භාෂයක් පිහිටා නොතිබූ අතර, තරුණ වියේ දී වෛද්‍යවරුන් ඇයට පවසා තිබුණේ ඇයට කිසිදා දරුවෙකු කුස දැරීමට නොහැකි වනු ඇති බවයි. කෙසේ වෙතත් දශක ගණනාවක් පුරා ඇයට අරක් ගෙන තිබූ ඒ “නොහැකියාව” අද වන විට “ආශ්චර්යයක්” බවට පත්ව තිබෙනවා.

“මම කවදාවත් හිතුවේ නැහැ මෙය කළ හැකි වෙයි කියලා. මගේ මුළු ජීවිතයේම මම වඩාත්ම සතුටින් ඉන්නා මොහොත මෙයයි.” ඇය පවසනවා.

2023 වසරේ දී බ්‍රිතාන්‍යයේ ප්‍රථම ගර්භාෂ බද්ධ කිරීම සිදු වූයේ ජීවතුන් අතර සිටින සොහොයුරියකගෙන් තවත් සොහොයුරියකටයි. එහිදී ග්‍රේස් ඩේවිඩ්සන් යන අය හට ඇගේ වැඩිමහල් සොහොයුරිය වූ ඒමි විසින් තම ගර්භාෂය පරිත්‍යාග කරනු ලැබුවා. එහෙත් හියුගෝගේ උපත සුවිශේෂී වන්නේ එය මියගිය දායකයෙකුගෙන් ලබාගත් ගර්භාෂයක් බද්ධ කර බ්‍රිතාන්‍යයේ සිදු වූ ප්‍රථම උපත වන බැවිනුයි. දත්තවලට අනුව, මියගිය දායකයන්ගෙන් ලැබුණු ගර්භාෂ බද්ධ කිරීම් මඟින් යුරෝපයේ මීට පෙර මෙවැනි අවස්ථා දෙකක් පමණක් වාර්තා වී ඇති අතර, ලොව පුරා එවැනි උපත් සිදු ව ඇත්තේ 25 ත් 30 ත් අතර සංඛ්‍යාවක් පමණයි. ලොව පුරා සිදුවන ගර්භාෂ බද්ධ කිරීම්වලින් තුනෙන් දෙකක් ම තවමත් සිදුවන්නේ ජීවත් ව සිටින දායකයන්ගෙන්.

මෙම වෛද්‍ය විස්මිතය පිටුපස සුවිශේෂී නීතිමය සහ සදාචාරාත්මක ක්‍රියාවලියක් ද පවතිනවා. අවයව පරිත්‍යාගය පිළිබඳ පොදු නීති රීතිවලට වඩා ගර්භාෂ පරිත්‍යාගය සම්බන්ධ ක්‍රියාවලිය වෙනස් මුහුණුවරක් ගන්නවා. සාමාන්‍යයෙන් පුද්ගලයෙකු අවයව පරිත්‍යාග කිරීමට ස්වයංක්‍රීය ව එකඟතාව පළ කර ඇතැ යි සැලකෙන ‘ස්වයංක්‍රීය කැමැත්ත’ (Deemed Consent) යටතට ගර්භාෂය ඇතුළත් වන්නේ නැහැ. එබැවින්, යම් කාන්තාවක මියගිය පසු ඇයගේ ගර්භාෂය පරිත්‍යාග කිරීමට නම්, ඇයගේ පවුලේ සාමාජිකයන්ගෙන් ඒ සඳහා විශේෂ සහ සෘජු අවසරයක් ලබා ගැනීම අනිවාර්ය වනවා.

මෙම ගර්භාෂ බද්ධ කිරීම අනෙකුත් අවයව බද්ධ කිරීම් මෙන් ශරීරය තුළ ජීවිත කාලය පුරා ම රඳවා තබා ගන්නක් නොවෙයි. බද්ධ කළ ගර්භාෂය ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් “පිටස්තරයෙකු” ලෙස හඳුනාගෙන එය ප්‍රතික්ෂේප කිරීම වැළැක්වීම සඳහා මවට ප්‍රතිශක්තිකරණ මර්දන ඖෂධ ලබා ගැනීමට සිදු වනවා. මෙම ඖෂධ මඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය තාවකාලිකව අඩපණ කර ගර්භාෂය ආරක්ෂා කරගන්නවා. කෙසේ වෙතත්, මෙම ඖෂධ දීර්ඝ කාලයක් භාවිත කිරීමෙන් ඇතිවිය හැකි අහිතකර සෞඛ්‍ය බලපෑම් අවම කර ගැනීම සඳහා, අදාළ යුවළ දරුවන් ලැබීම අවසන් කළ පසු බද්ධ කළ ගර්භාෂය සැත්කමක් මඟින් නැවත ඉවත් කරනු ලැබෙනවා.

ග්‍රේස් බෙල්ට ගර්භාෂය ලබා දුන් දායකයා සැබෑ ලෙස ම මානව දයාවේ සංකේතයක් ලෙස හැඳින්විය හැකියි. ඇයගේ ගර්භාෂය ග්‍රේස් හට මව් පදවිය ලබා දුන් අතර ම, ඇය පරිත්‍යාග කළ තවත් අවයව පහක් මඟින් තවත් පුද්ගලයන් සිව් දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට වෛද්‍යවරුන් සමත් වුණා.

ග්‍රේස් බෙල්ගේ සහ පුංචි හියුගෝගේ මෙම කතාව හුදෙක් වෛද්‍ය විද්‍යාත්මක ජයග්‍රහණයක් පමණක් නොව මිනිසුන් තුළ පවතින අසීමිත පරිත්‍යාගශීලීත්වය සහ වෛද්‍ය විද්‍යාවේ දියුණුව එක් වූ තැන සිදුවිය හැකි ආශ්චර්යයන් පිළිබඳ ජීවමාන සාක්ෂියක් වනවා. මෙම වෛද්‍ය කණ්ඩායමේ නායකත්වය දැරූ මහාචාර්ය රිචඩ් ස්මිත් ඇතුළු පිරිස වසර ගණනාවක් පුරා කළ කැපවීමට ගෞරවයක් ලෙස, ග්‍රේස් සහ ස්ටීව් තම පුතුට ‘හියුගෝ රිචඩ් පවෙල්’ ලෙස නම් තැබීමට තීරණය කර තිබෙනවා. මෙය වෛද්‍යවරයා සහ රෝගියා අතර ඇති වූ ගැඹුරු මානුෂීය බැඳීම මනාව විදහා දක්වන්නක්.

 



from Vidusara Science Magazine https://ift.tt/rjUHyK0
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!