zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

මුල් කාලීන විශ්වයට අයත් අබිරහස් ‘කුඩා රතු තිත්’ මොනවාද?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් නිරීක්ෂණය කරන ලද මුල් කාලීන විශ්වයට අයත් අබිරහස් “කුඩා රතු තිත්” (Little Red Dots) මේ වන විට සම්පූර්ණයෙන් ම අතුරුදහන් වී නොමැති බවත්, ඒවා අද අපට හුරුපුරුදු තාරකා පොකුරු බවට පරිණාමය වී ඇති බවත් නවතම පර්යේෂණයකින් යෝජනා වී තිබෙනවා.

2022 වසරේ දී ජේම්ස් වෙබ් දුරේක්ෂය මඟින් මහා පිපුරුමෙන් වසර මිලියන 600කට පමණ පසු කාලය නියෝජනය කරන මෙම “කුඩා රතු තිත්” බහුලව නිරීක්ෂණය කිරීමත් සමග තාරකා විද්‍යාඥයින් අතර දැඩි කුතුහලයක් ඇති වුණා. විශේෂයෙන් ම, විශ්වයේ වයස වසර බිලියන 2ක් පමණ වන විට මෙම වස්තූන් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වීම ඊට ප්‍රධාන හේතුව වුණා. මෙම තිත් අතිවිශාල වායු සහ දූවිලි වලාකුළු වලින් වැසී ගිය කළු කුහර විය හැකි බවට විවිධ මත ඉදිරිපත් වුව ද, ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති නවතම න්‍යාය ඊට වඩා වෙනස් මානයක් පෙන්නුම් කරනවා.

ඔවුන්ගේ මතයට අනුව, මෙම රතු තිත් අන් කිසිවක් නොව, අධි-ස්කන්ධ තාරකාවක් (supermassive star) කේන්ද්‍ර කරගෙන නිර්මාණය වෙමින් පවතින තාරකා පොකුරු විය හැකියි. මෙවැනි අධි-ස්කන්ධ තාරකාවක් සූර්යයාගේ ස්කන්ධය මෙන් 1000 සිට 10,000 ගුණයක් පමණ විශාල වන අතර, එයට ඇත්තේ ඉතා කෙටි ආයු කාලයක්.

අද වන විට ක්‍ෂීරපථය ඇතුළු බොහෝ මන්දාකිණිවල දක්නට ලැබෙන පැරණි තාරකා මිලියන ගණනක් ඝන ලෙස එකට බැඳී පවතින තාරකා පොකුරු නිර්මාණය වූ ආකාරය තවමත් තාරකා විද්‍යාඥයින්ට සම්පූර්ණයෙන් ම අවබෝධ කර ගැනීමට හැකි වී නැහැ. මක්නිසාද යත්, අපට ඒවා නිරීක්ෂණය කිරීමට හැකි වී ඇත්තේ වසර බිලියන ගණනක පරිණාමයෙන් පසු ඒවායේ මූලික ලක්ෂණ බොහෝමයක් වෙනස් වීමෙන් පසුව බැවිනුයි. විශේෂයෙන්ම , මුල් කාලීන විශ්වයේ ප්‍රධාන වශයෙන් හයිඩ්‍රජන් හා හීලියම් පමණක් පැවතුණ ද, මෙම තාරකා පොකුරුවල ඇති ඇතැම් තාරකා තුළ අසාමාන්‍ය ලෙස නයිට්‍රජන්, සෝඩියම්, ඇලුමිනියම් වැනි බර මූලද්‍රව්‍ය (ලෝහ) අඩංගු වීම විද්‍යාඥයින්ගේ විමතියට කරුණක් වී තිබෙනවා.

නව න්‍යායට අනුව, ඝන තාරකා පොකුරු තුළ සිදුවන නිරන්තර ගැටීම් හරහා නිර්මාණය වන අධි-ස්කන්ධ තාරකාවන් තුළ ඉතා ඉහළ උෂ්ණත්වයක් පවතින අතර, මෙවැනි අසාමාන්‍ය මූලද්‍රව්‍ය සංයුතියක් නිර්මාණය වීමට අවශ්‍ය පසුබිම එයින් සැපයෙනවා. වසර මිලියනයක් වැනි කෙටි කාලයක් පවතින මෙම දැවැන්ත තාරකා අවසානයේ සුපර්නෝවා පිපිරුම් හරහා විනාශ වන විට, ඒවා තුළ නිපදවුණු මූලද්‍රව්‍ය අභ්‍යවකාශයට මුදා හැරෙනවා. ඊළඟ පරම්පරාවේ තාරකා නිර්මාණය වීමට දායක වන්නේ මෙම මූලද්‍රව්‍ය වන අතර, අද අප දකින තාරකා පොකුරුවල ඇති අසාමාන්‍ය රසායනික සංයුතියට හේතුව එය බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.

මෙම අධි-ස්කන්ධ තාරකාව පවතින කෙටි කාලය තුළදී එය “කුඩා රතු තිතක්” ලෙස පෙනෙන අතර, තාරකාව විනාශ වීමෙන් පසු අදාළ තාරකා පොකුර වසර බිලියන ගණනක් පැවතිය ද එය තවදුරටත් රතු තිතක් ලෙස දිස් නොවන බව පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී ජෝන් චිෂොල්ම් සඳහන් කරනවා.

තව ද, මුල් කාලීන විශ්වයේ මෙම රතු තිත් ව්‍යාප්ත වී ඇති ආකාරය සහ වර්තමාන තාරකා පොකුරුවල ව්‍යාප්තිය අතර මෙන් ම ඒවායේ ස්කන්ධයන් අතර ද සමානකම් ඇති බවත්, රතු තිත් දර්ශනය වන කාල වකවානුව එනම්, මහා පිපුරුමෙන් වසර මිලියන 600කට පසු ව තාරකා පොකුරු නිර්මාණය වීම ආරම්භ වූ බවට සැලකෙන කාලය හා එය සමපාත වන බවත් පර්යේෂකයින් පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් ස්ථිර නිගමනයකට පැමිණීමට තවමත් කල් වැඩි වුව ද, මෙම නව න්‍යාය මඟින් මෙතෙක් විසඳා ගැනීමට නො හැකි වූ අබිරහස් රැසකට පිළිතුරු ලැබෙනු ඇතැයි විද්‍යාඥයන් විශ්වාස කරනවා.



from Vidusara Science Magazine https://ift.tt/Js7PVh4
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!