වර්ෂ 1952 දී පුවර්ටෝ රිකෝ වෙරළට ඔබ්බෙන් වූ මුහුදට කඩා වැටුණු Pan Am ගුවන් සේවයට අයත් ‘Clipper Endeavor’ (ක්ලිපර් එන්ඩෙවර්) ගුවන් යානයේ සුන්බුන් වසර 74 කට පසු ව සාගර පතුලේ තිබී සොයාගන්නට ගවේෂකයන් සමත් ව තිබෙනවා. සැන් ජුවන් ගුවන් තොටුපළෙන් නිව්යෝර්ක් බලා ගුවන් ගත වී සුළු මොහොතකින් ඇති වූ එන්ජින් දෝෂයක් හේතුවෙන් මෙම යානය අත්ලාන්තික් සාගරයට කඩා වැටුණේ 1952 අප්‍රේල් 11 වන දිනයි. මගීන් සහ කාර්ය මණ්ඩලය 69 දෙනෙකු ගමන් ගත් මෙම යානයේ ඛේදවාචකයෙන් 52 දෙනෙකුට ජීවිත අහිමි වූ අතර, එයින් පුද්ගලයින් 39 දෙනෙකුගේ සිරුරු කිසිදිනෙක සොයාගැනීමට හැකි වූයේ නැහැ.
අනතුර සිදු වූ අවස්ථාවේ දී බොහෝ දෙනෙකු දිවි ගලවා ගත්ත ද, ජීවිතාරක්ෂක කබා සොයාගැනීමට නො හැකි වීම සහ කලබලකාරී තත්ත්වය හේතුවෙන් බොහෝ දෙනෙකු මුහුදේ ගිලී මියගොස් තිබුණා. මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසු, ගුවන් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දැඩි පියවර ගැනීමේ අවශ්‍යතාවය පැන නැඟුණු අතර, අද වන විට ලොව පුරා සෑම ගුවන් ගමනකට ම පෙර මගීන්ට ලබාදෙන ආරක්ෂක උපදෙස් හඳුන්වා දීමට ද මේ අනතුර මූලික හේතුවක් වුණා.
Air/Sea Heritage Foundation නම් ආයතනය, Deep Sea Vision නැමැති මුහුදු පත්ල ගවේෂණය කරන ආයතනය සහ ඩිස්කවරි නාලිකාවේ ‘Expedition Unknown’ වැඩසටහන් කණ්ඩායම එක් ව මේ සොයාගැනීමට මුල් වූ ගවේෂණය දියත් කෙරුණා. නවීන තාක්ෂණයෙන් යුත් ස්වයංක්‍රීය සෝනාර් ඩ්‍රෝන යානයක් උපයෝගී කර ගනිමින් අඩි 2,000 ක් පමණ ගැඹුරු මුහුදු පත්ලේ තිබූ එන්ඩෙවර් යානයේ බඳ සහ වලිග කොටස ඉකුත් ජුනි 2 වන දා ඔවුන් විසින් සොයාගැනුණේ ඒ අනුවයි. වසර 74 ක් ගත වී ඇතත්, යානයේ බඳෙහි වූ Pan Am ගුවන් සේවයේ ලාංඡනය සහ නම තවමත් පැහැදිලි ව දැකගත හැකි වීම විශේෂත්වයක්.
ගවේෂණයේ සුවිශේෂී දර්ශන රැගත් වැඩසටහන මේ වසරේ අගභාගයේ දී ඩිස්කවරි නාලිකාව ඔස්සේ විකාශය වීමට නියමිත බව ද නිවේදනය කර තිබෙනවා.
from Vidusara Science Magazine https://ift.tt/g2wkiaX
via Magazine







Post a Comment