බ්‍රසීලයේ සිට ඕස්ට්‍රේලියාව දක්වා කිලෝමීටර් 15,000ක අතිවිශාල දුරක් සංක්‍රමණය වූ හම්ප්බැක් තල්මසෙකු (humpback whale) පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා. මෙය තනි හම්ප්බැක් තල්මසෙකු මෙතෙක් ගමන් කළ බවට වාර්තා වූ දීර්ඝතම දුර බවයි විද්‍යාඥයන් සඳහන් කරනවා.
මෙම සත්ත්වයා මුලින් ම ඡායාරූප ගත කර ඇත්තේ 2003 වසරේ දී බ්‍රසීලයේ තල්මසුන් බෝවන ප්‍රධාන මධ්‍යස්ථානයක් වන ‘ඇබ්‍රොල්හොස් බෑන්ක්’ හිදී. ඉන් වසර 22කට පසු ව, එනම් 2025 සැප්තැම්බර් මාසයේ දී, මෙම තල්මසා ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත වෙරළට ඔබ්බෙන් පිහිටි Hervey Bay ප්‍රදේශයේ දී නැවතත් නිරීක්ෂණය කර තිබෙනවා. මෙම ගමනාන්ත දෙක අතර සෘජු දුර ප්‍රමාණය කිලෝමීටර් 15,100ක් පමණ වනවා.
මෙම තල්මසා හඳුනා ගැනීමට පර්යේෂකයන් සමත් ව ඇත්තේ එහි වලිගයේ යටි පැත්තේ ඇති රටාවන් මගින්. මිනිස් ඇඟිලි සලකුණු මෙන් ම, සෑම හම්ප්බැක් තල්මසෙකු ටම ආවේණික වූ වලිග රටාවක් පවතින බව පර්යේෂිකා ස්ටෙෆනි ස්ටැක් පෙන්වා දෙනවා. කෘතිම බුද්ධිය භාවිත කරන ‘Happywhale’ නම් ඩිජිටල් වේදිකාවක් හරහා මෙම සත්ත්වයා නිවැරදි ව හඳුනාගන්නට ඔවුන් සමත් ව තිබුණා.
පර්යේෂකයන් පවසන්නේ මෙවැනි දීර්ඝ දුරක් සංක්‍රමණය වීම අතිශය දුර්ලභ සිදුවීමක් බවයි. මීට අමතර ව, තවත් තල්මසෙකු 2007 වසරේ ඕස්ට්‍රේලියාවේ සිට 2019 වසර වන විට බ්‍රසීලය දක්වා කිලෝමීටර් 14,200ක දුරක් ගමන් කර ඇති බව ද පර්යේෂණවල දී හෙළි වී තිබෙනවා. සාමාන්‍යයෙන් හම්ප්බැක් තල්මසෙකුගේ සංක්‍රමණ වටයක් කිලෝමීටර් 10,000ක් පමණ වනවා.
මෙම සොයාගැනීම සාගර සම්පත් සුරැකීම සඳහා රටවල් අතර සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කර දෙන්නක් බව ස්ටැක් පෙන්වා දෙනවා. එසේ ම, දේශගුණික විපර්යාස හේතුවෙන් සාගර ආහාර දාමයන්ට එල්ල වන බලපෑම නිසා ඉදිරියේ දී තල්මසුන්ගේ මෙවැනි සංක්‍රමණ රටාවන් වෙනස් විය හැකි බවට ද විද්‍යාඥයන් අනතුරු අඟවනවා.
from Vidusara Science Magazine https://ift.tt/YqQ98xD
via Magazine







Post a Comment