zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Colossal Biosciences කෘත්‍රිම බිත්තර කටුවකින් ජීවී කුකුළු පැටවුන් බිහි කරයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

වඳ වී ගිය සතුන් යළි බිහිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ජෛව තාක්ෂණ සමාගමක් වන Colossal Biosciences විසින් කෘත්‍රිම පරිසරයක් තුළ ජීවී කුකුළු පැටවුන් සාර්ථක ව බිහිකරීමට සමත් ව තිබෙනවා. මෙම සුවිශේෂ පියවර විද්‍යාඥයින්ගේ මෙන් ම විචාරකයින්ගේද දැඩි අවධානයට ලක් ව තිබෙනවා. එම සමාගම විසින් ත්‍රිමාණ මුද්‍රිත බිත්තර කටුවක් වැනි ව්‍යූහයක් භාවිතයෙන් දින කිහිපයක සිට මාස කිහිපයක් දක්වා වයසැති කුකුළු පැටවුන් 26 දෙනෙකු මෙලෙස බිහිකර තිබෙනවා. මීට පෙර ද මෙම ආයතනය විසින් වූලි මැමත් ලක්ෂණ සහිත මීයන් සහ ඩයර් වුල්ෆ් ලක්ෂණ සහිත වෘක පැටවුන් වැනි වඳ වී ගිය සතුන්ට සමාන ජාන වෙනස් කළ සතුන් නිර්මාණය කර තිබෙනවා.

කෘත්‍රිම බිත්තර කටු තාක්ෂණය තවදුරටත් පුළුල් කිරීම හරහා නවසීලන්තයේ වඳ වී ගිය සවුත් අයිලන්ඩ් ජයන්ට් මෝවා (South Island giant moa) නැමැති පක්ෂියාට සමාන පක්ෂියෙකු නිර්මාණය කිරීම සිය ආයතනයේ අරමුණ බව Colossal ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී බෙන් ලැම් පවසනවා. මෝවා බිත්තරයක් සාමාන්‍ය කුකුළු බිත්තරයක් මෙන් 80 ගුණයක් පමණ විශාල වන අතර නූතන පක්ෂීන්ට එතරම් විශාල බිත්තරයක් දැමීම පවා අපහසුයි. එබැවින් ස්වභාවධර්මයේ මෙම ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම සහ පරිමාණය කළ හැකි මට්ටමකට ගෙන ඒම තම අපේක්ෂාව බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙම අත්හදා බැලීම සඳහා විද්‍යාඥයින් විසින් සංසේචනය කළ බිත්තර කෘත්‍රිම පද්ධතියට දමා ඉන්කියුබේටරයක තබා තිබුණා. සාමාන්‍ය තත්ත්වයන් යටතේ නම් බිත්තර කටුවෙන් උරාගන්නා කැල්සියම් මෙහි දී අතිරේක ව ලබා දී ඇති අතර, කළලයේ වර්ධනය තත්‍ය කාලීනව නිරීක්ෂණයට ලක් ව තිබෙනවා. තව ද, ස්වභාවික බිත්තරයක මෙන් ඔක්සිජන් ලබාගැනීම පාලනය කරන පටලයක් ද මෙම කෘත්‍රිම බිත්තර කටුවෙහි අඩංගු කර තිබුණා.

මෙය ආකර්ෂණීය තාක්ෂණයක් වුව ද, සැබෑ කෘත්‍රිම බිත්තරයක් ලෙස සැලකීමට අවශ්‍ය තීරණාත්මක කොටස් මෙහි නොමැති බව ස්වාධීන විද්‍යාඥයෝ පෙන්වා දෙනවා. විශේෂයෙන් ම කළලය පෝෂණය කිරීමට සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමට සෑදෙන තාවකාලික අවයව මෙහි අන්තර්ගත වන්නේ නැහැ. පරිණාමීය ජීව විද්‍යාඥ වින්සන්ට් ලින්ච් පවසන්නේ මෙය කෘත්‍රිම බිත්තරයක් නොව, අනෙකුත් සියලු ම කොටස් පිටතින් එක් කළ කෘත්‍රිම බිත්තර කටුවක් පමණක් බවයි. එසේ ම, මෙමඟින් ජානමය වෙනස්කම් කළ පක්ෂියෙකු නිර්මාණය කළ හැකි වුව ද, එය කිසි දා නියම මෝවා පක්ෂියෙකු නො වන බව ද ඔහුගේ මතයයි. අතීතයේ දී ප්ලාස්ටික් පටල හෝ උර භාවිතයෙන් පවා කුකුළු පැටවුන් සාර්ථක ව බිහිකර ඇති බැවින් කෘත්‍රිම භාජනයකින් පැටවෙකු බිහිකිරීම අලුත් දෙයක් නො වන බව ෂෙෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ නිකොලා හෙමින්ග්ස් පෙන්වා දෙනවා.

අනාගතයේදී මෝවා පක්ෂියෙකු බිහිකිරීමට පෙර විද්‍යාඥයින් විසින් පැරණි DNA නූතන පක්ෂීන්ගේ ජාන සමඟ සැසඳිය යුතු අතර, ඒ සඳහා මීට වඩා විශාල බිත්තර කටුවක් ද අවශ්‍ය වනු ඇති බව විශ්වාස කෙරෙනවා. යම් හෙයකින් මෙම ආයතනය මෝවා පක්ෂියෙකුට සමාන සතෙකු නිර්මාණය කිරීමට සමත් වුව ද, ඌට ජීවත්වීමට සිදුවන පරිසරය පිළිබඳව බරපතල ගැටලු පවතින බව නිව් යෝර්ක් විශ්වවිද්‍යාලයේ ආතර් කැප්ලාන් අවධාරණය කරනවා. ඒ වෙනුවට මෙම තාක්ෂණය දැනට වඳ වී යාමේ තර්ජනයට ලක් ව ඇති සතුන්ගේ ශුක්‍රාණු සහ ඩිම්බ සෛල සුරක්ෂිත කර ඔවුන්ගේ ගහනය වැඩිකිරීම සඳහා යොදාගැනීම වඩාත් ඵලදායී බවයි ස්වාධීන මතධාරී විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.



from Vidusara Science Magazine https://ift.tt/mciRtsI
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!