පෘථිවිය දෙසට පැමිණිය හැකි අනතුරුදායක ග්රහක හඳුනාගෙන ඒවා පලවා හැරීම සඳහා ජෙෆ් බෙයිසෝස්ගේ Blue Origin සමාගම, NASA ආයතනයේ ජෙට් ප්රචාලන පර්යේෂණාගාරය සහ කැල්ටෙක් සරසවිය සමඟ අත්වැල් බැඳගෙන තිබෙනවා. NEO Hunter ලෙස නම් කර ඇති මෙම නව මෙහෙයුම මඟින් අභ්‍යවකාශයේ ඇති අන්තරායකර වස්තූන් පරීක්ෂා කිරීම සහ ඒවායේ ගමන් පථය වෙනස් කිරීමේ හැකියාව අධ්‍යයනය කිරීමට නියමිතයි.
මෙම මෙහෙයුම සඳහා Blue Origin සමාගමේ Blue Ring නම් බහුකාර්ය අභ්‍යවකාශ යානා වේදිකාව පදනම් කර ගැනෙනවා. කිලෝග්‍රෑම් 4,000 ක් දක්වා බරක් දරාගත හැකි සම්බන්ධක 13 කින් සමන්විත මෙම යානයට, පෘථිවි කක්ෂයේ සිට අඟහරු ග්‍රහයා දක්වා වූ ගැඹුරු අභ්‍යවකාශයේ විවිධ මෙහෙයුම් සඳහා සහාය වීමේ හැකියාව තිබෙනවා. NEO Hunter මෙහෙයුමේ මුල් අදියරේ දී ක්ෂුද්‍ර චන්ද්‍රිකා සමූහයක් මුදා හැරෙන අතර, ඒවා මඟින් අදාළ ග්‍රහකයේ ස්කන්ධය, ඝනත්වය සහ සංයුතිය පිළිබඳ දත්ත රැස් කරනු ලබනවා.
ග්රහකයක ගමන් මඟ වෙනස් කිරීම සඳහා ක්‍රමවේද දෙකක් යෝජනා වී තිබෙනවා. පළමුවැන්න නම්, යානයේ ඇති ප්‍රබල අයන කදම්භයක් මගින් ආරෝපිත අංශු ධාරාවක් ග්රහකය වෙත එල්ල කර එහි ගමන් මග මෘදු ලෙස වෙනස් කිරීමයි. ග්රහකය ඉතා විශාල හෝ වේගවත් නම්, යානය පැයට සැතපුම් 22,600 ක පමණ අධික වේගයකින් ග්‍රහකයේ ගැටීමට සලස්වන Kinetic Disruption ක්‍රමය භාවිතා කිරීම යෝජිතයි. මෙම ගැටීම වාර්තා කර මෙහෙයුමේ සාර්ථකත්වය තහවුරු කිරීමට Slamcam නම් කුඩා චන්ද්‍රිකාවක් ද යොදා ගැනීමට සැලසුම් කර තිබෙනවා.
ජර්මනියේ නිවසක් මතට උල්කාපාතයක් පතිත වීම වැනි මෑතකාලීන සිදුවීම් හේතුවෙන් ග්රහක ආරක්ෂණය කෙරෙහි ලෝක අවධානය යොමු වී තිබෙනවා. දැනට සෘජු තර්ජනයක් හඳුනාගෙන නොමැති වුව ද, අනාගතයේ දී සිදුවිය හැකි ව්‍යසනයන් වළක්වා ගැනීමට මෙවැනි වාණිජ අභ්‍යවකාශ වේදිකා මඟින් අඩු පිරිවැයකින් ඉහළ ප්‍රතිඵල ලබාගත හැකි බව Blue Origin සමාගම පවසනවා.
from Vidusara Science Magazine https://ift.tt/Q0kLfBl
via Magazine







Post a Comment