චීනයේ වැඩිම පිරිසක් නරඹන රූපවාහිනී වැඩසටහන වන පසුගිය දා පැවැති වාර්ෂික CCTV වසන්ත උත්සව ප්‍රසංගය දී (Spring Festival Gala), එරටේ අතිනවීන කාර්මික ප්‍රතිපත්තිය, මානවරූපී රොබෝ තාක්ෂණය හා අනාගත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ආධිපත්‍යය පැතිරවීමට බීජිං පාලනය දරන උත්සාහය මොනවට ප්‍රදර්ශනය වුණා.
ඇමරිකා එක්සත් ජනපදය සිය ‘සුපර් බෝල්’ තරඟාවලියට යම් වැදගත් කමක් ලබා දේ ද එවැනි ම තැනක ලා චීනය විසින් සලකනු ලපන මෙම සජීව වැඩසටහනේ දී, නැඟී එන මානවරූපී රොබෝ නිෂ්පාදන සමාගම් හතරක් වන Unitree Robotics, Galbot, Noetix සහ MagicLab යන සමාගම් ඔවුන්ගේ නිපැයුම් ඉදිරිපත් කිරීම ද සිදුවුණා.
මෙම වැඩසටහනේ මුල් ම අංග තුන තුළ ම මානවරූපී රොබෝවරුන් කැපී පෙනෙන ලෙස ප්‍රදර්ශනය කෙරුණු අතර, විශේෂයෙන් ම Unitree සමාගමේ නිෂ්පාදිත රොබෝවරුන් දුසිමකට වඩා වැඩි පිරිසක් කුඩා දරුවන් සමඟ සමීප ව සිටිමින් කඩු, පොලු සහ නන්චකු භාවිත කරමින් සිදු කළ සංකීර්ණ සටන් කලා සංදර්ශනය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වුණා.
මෙම සටන් අංගයන් අතර රොබෝවන් චීනයේ ‘ඩ්‍රන්කන් බොක්සිං’ යනුවෙන් හැඳින්වෙන සටන් ක්‍රමයට සමාන ව සිරුර වාරු නැති ව ලෙලවන සහ පසුපසට පිනුම් ගසන තාක්ෂණික ව අතිශය අසීරු චලනයන් අනුකරණය කරනු දක්නට ලැබුණා. මෙයින් බහු-රොබෝ සම්බන්ධීකරණය (multi-robot coordination) සහ වැටුණු පසු නැවත නැගී සිටීමේ හැකියාව වැනි හැකියාවන් ප්‍රදර්ශනය කෙරුණා.
වැඩසටහනේ ආරම්භක අංගයේ දී Bytedance සමාගමේ Doubao AI චැට්බොට් පද්ධතිය ද ප්‍රදර්ශනය වූ අතර, Noetix රොබෝවරුන් සිව්දෙනෙකු විකට ජවනිකාවක් සඳහා නළු නිළියන් සමඟ අත්වැල් බැඳගෙන සිටියා. එමෙන්ම, “We Are Made in China” ගීතය ගායනා කරන අතරතුර MagicLab රොබෝවරු පිරිසක් ශිල්පීන් සමඟ මනරම් නර්තනයක් ද ඉදිරිපත් කළා.
රොබෝවරුන්ගේ මැරතන් තරග, කුං-ෆු සටන් ක්‍රම සහ කරණම් ගැසීම වැනි දර්ශනීය අංගයන් පසෙකින් තැබූ විට, චීනය සිය මීළඟ තාක්ෂණ විප්ලවය ලෙස රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය නම් කර තිබෙනවා. ස්වයංක්‍රීයකරණය හරහා ලබන ඉහළ නිෂ්පාදන කාර්යක්ෂමතාව මඟින් එරට වයස්ගත වන ශ්‍රම බලකාය නිසා ඇතිවන පීඩනය සමනය කරගත හැකි බව බීජිං පාලනයේ විශ්වාසයයි.
”මානවරූපී රොබෝවරු චීනයේ ප්‍රධාන ශක්තීන් කිහිපයක් එක ම මාතෘකාවකට ගොනු කරනවා. එනම් AI ශක්‍යතාව, දෘඩාංග සැපයුම් දාමය සහ නිෂ්පාදන අභිලාෂයයි. එමෙන් ම මහජනතාවට සහ නිලධාරීන්ට වඩාත් පහසුවෙන් තේරුම් ගත හැකි තාක්ෂණික ස්වරූපය මෙයයි,” යනුවෙන් බීජිං නුවර පදනම් කරගත් තාක්ෂණික විශ්ලේෂක පෝ ෂාඕ පවසනවා.
”මුල් අවධියේ පවතින වෙළඳපොළක දී, අවධානය දිනා ගැනීම ම විශාල සම්පතක්.” ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා..
පර්යේෂණ ආයතනයක් වන Omdia ට අනුව, පසුගිය වසරේ ලොව පුරා අලෙවි වූ මානවරූපී රොබෝවරුන් 13,000 ක ප්‍රමාණයෙන් 90% ක් ම නිෂ්පාදනය කර ඇත්තේ චීනයයි. මෙය Tesla සමාගමේ ‘ඔප්ටිමස්’ (Optimus) වැනි ඇමරිකානු ප්‍රතිවාදීන්ට වඩා ඉදිරියෙන් සිටින අවස්ථාවක් බවට විවාදයක් නැහැ.
විශ්ලේෂකයක් අනුමාන කරන්නේ මේ වසර තුළ දී චීනය මානවරූපී රොබෝ ඒකක 28,000ක් වත් අළෙවි කරනු ඇති බවයි.
සෞන්දර්ය සෙනරත්
from Vidusara Science Magazine https://ift.tt/8G1Py7U
via Magazine







Post a Comment