zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ජෝර්දානයේ තුරඟ තරග පිටියකින් හමු වූ සමූහ මිනීවළෙන් ලොව වාර්තාගත පළමු වසංගතය ගැන තොරතුරු හෙළි වෙයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ඇමරිකානු පර්යේෂක කණ්ඩායමක් විසින් ලොව මුල් ම වසංගතය ලෙස සැලකෙන ‘ජස්ටිනියන් වසංගතයට’ (Plague of Justinian) ගොදුරු වූවන්ගේ මධ්‍යධරණී කලාපීය පළමු සමූහ මිනීවළ සොයාගන්නට සමත් ව තිබෙනවා. ක්‍රිස්තු වර්ෂ හයවන සහ අටවන සියවස් අතර කාලයේ දී බයිසැන්තියානු අධිරාජ්‍යයේ මිලියන සංඛ්‍යාත ජනතාවක් බිලිගත් මෙම වසංගතය පිළිබඳ නව සහ පැහැදිලි තොරතුරු රැසක් මෙ මඟින් අනාවරණය වනවා.

Journal of Archaeological Science ජර්නලයේ පළ වූ මෙම සොයාගැනීම් හරහා, එම වසංගතයෙන් පීඩාවට පත් වූවන්ගේ සංචලතාව, නාගරික ජීවිතය සහ ඔවුන් මුහුණ දුන් අවදානම් තත්ත්වයන් පිළිබඳව දුර්ලභ මෙන් ම ප්‍රායෝගික සාක්ෂි ලැබී ඇති බව පර්යේෂකයන් පවසනවා.

නූතන ජෝර්දානයට අයත් ජෙරාෂ් ප්‍රදේශයේ පිහිටි මෙම සමූහ මිනීවළෙන් ලබාගත් සිරුරුවල DNA සාම්පල පරීක්ෂා කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ, මෙය සාමාන්‍ය සුසාන භූමියක සිදුවන ක්‍රමානුකූල මරණ එකතු වීමක් නොව, එක ම අවස්ථාවක දී සිදු වූ විශාල මරණ සංඛ්‍යාවක් මිහිදන් කළ ස්ථානයක් බවයි. මෙම පර්යේෂක කණ්ඩායම ම පසුගිය වසරේ දී ජස්ටිනියන් වසංගතය ඇති කළ ක්ෂුද්‍ර ජීවියා Yersinia pestis බැක්ටීරියාව බව හඳුනාගෙන තිබුණා.

ඔවුන් මෙම නව පර්යේෂණය ඔස්සේ මූලික වශයෙන් අවධානය යොමු කර ඇත්තේ වසංගතයට ගොදුරු වූවන් පිළිබඳවයි. ඔවුන් ජීවත් වූ ආකාරය, රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාව සහ ක්‍රි.ව. 541 සිට 750 දක්වා පැතිර ගිය මෙම වසංගතයේ කේන්ද්‍රස්ථානයක් මෙන් ම කලාපීය වෙළඳ මධ්‍යස්ථානයක් වූ ජෙරාෂ් නගරයට ඔවුන් පැමිණීමට හේතුව කුමක් ද යන්න ආදිය පිළිබඳවයි.

“මීට පෙර කළ අධ්‍යයනයන් මඟින් ව්‍යාධිකාරක කාරක ක්ෂුද්‍ර ජීවියා හඳුනා ගත්තා. නමුත් ජෙරාෂ් කැණීම් අඩවියෙන් හමු වූ එම ජානමය සලකුණු හරහා, මියගිය අය කවුද යන්න සහ නගරයක් මෙවැනි අර්බුදයකට මුහුණ දුන්නේ කෙසේ ද යන්න පිළිබඳ මානුෂීය කතාවක් ගොඩනැගීමට අපට හැකි වුණා,” යැ යි දකුණු ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලයේ ගෝලීය, පාරිසරික සහ ජානමය සෞඛ්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර මහාචාර්ය සහ මෙම අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ රේස් ජියැන්ග් පවසනවා.

දකුණු ෆ්ලොරිඩා විශ්වවිද්‍යාලය, ෆ්ලොරිඩා අත්ලාන්තික් විශ්වවිද්‍යාලය සහ සිඩ්නි විශ්වවිද්‍යාලය යන ආයතන නියෝජනය කරන පුරාවිද්‍යාඥයින්, ඉතිහාසඥයින් සහ ජාන විද්‍යාඥයින්ගෙන් සැදුම්ලත් බහුවිධ පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම පර්යේෂණ පත්‍රිකාව සකස් කරන ලද අතර ජියැන්ග් සහ ඇයගේ පර්යේෂණ කණ්ඩායම විසින් කැනීම්වලින් හෙළි කරගත් දත්වලින් ලබාගත් DNA සාම්පල පරීක්ෂාවට ලක් කරනු ලැබුණා.

එහි දී ඔවුන් සොයාගත්තේ වසංගතයට ගොදුරු වූවන් විවිධ ජන ස්තරවලට අයත් බවයි. ජියැන්ග් පවසන පරිදි මෙයින් පෙනී යන්නේ, නිරතුරු ව ම ගමන් බිමන්වල යෙදෙන ජන කොටසක් මෙම රෝගය නිසා එක ම ස්ථානයක සිර වී සිට ඇති බවයි. මෙය කෝවිඩ් වසංගතය සමයේ දී ගමන් බිමන් සීමා වී ජනයා කොටු වූ ආකාරයට සමාන බව ඇය පෙන්වා දෙනවා.

“මිනිසුන් නිරතුරු ව ම සංචරණය කරනවා. ඔවුන් තාවකාලික ව පදිංචි වන, අවදානමට ලක්විය හැකි සහ සාමාන්‍යයෙන් විසිරී සිටින පිරිසක්. නමුත් මෙහි දී, අර්බුදය විසින් ඔවුන් සියල්ලන්ව එක ම තැනකට ගෙනවිත් දමා තිබෙනවා,” යනුවෙන් පැවසූ ජියැන්ග්, පුරාණ වසංගතයන් සංචරණය සහ පාරිසරික වෙනස්කම් හේතුවෙන් හැඩගැසුණු අධික ජනගහනයක් සහිත නගර තුළ ඉතා වේගයෙන් ව්‍යාප්ත වූ බව ද වැඩිදුරටත් සඳහන් කරනවා.

කැණීම්වලින් හෙළි වී ඇත්තේ, මධ්‍යධරණී ග්‍රීක-රෝම නටබුන් ආරක්ෂා වී ඇති හෙයින් “මැදපෙරදිග පොම්පේ” ලෙස ද හැඳින්වෙන ජෙරාෂ් නගරයේ තුරඟ තරග පිටියක පිහිටි මෙම සොහොන් ගැබේ පුද්ගලයන් 200කට වඩා වැඩි පිරිසක් වළ දමා ඇති බවයි. එහි අස්ථි හමු වූ පිරිස ස්ත්‍රී පුරුෂ භේදයකින් තොර ව, මහලු වියේ සිට තරුණ වියදක්වා විවිධ වයස් සීමාවල පසුවූවන් බවයි ඇය සඳහන් කරන්නේ.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්



from Vidusara Science Magazine https://ift.tt/Y5w61tZ
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!