zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Artemis II නැවතත් කල් යයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

මිනිසා වසර 50කට වැඩි කාලයකට පසු නැවතත් සඳ කරා යන ගමනේ තීරණාත්මක හැරවුම් ලක්ෂය වන්නේ Artemis II මෙහෙයුමයි. Apollo මෙහෙයුම්වලින් පසු සඳ වෙත ගගනගාමීන් රැගෙන යන ප්‍රථම මෙහෙයුම මෙය වීම නිසා සමස්ත ලෝකයේ ම අවධානය මේ වෙත යොමුව පවතිනවා. කෙසේ වෙතත්, මාර්තු මස මුල දී දියත් කිරීමට සැලසුම් කර තිබූ මෙම ඓතිහාසික ගමන, රොකට්ටුවේ ඉහළ කොටසේ ඇති වූ අනපේක්ෂිත තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් පමා කිරීමට NASA ආයතනයට සිදුව ඇති බව පසුගිය දා නිවේදනය කෙරුණා.

පසුගිය සිකුරාදා පැවති මාධ්‍ය හමුවේදී NASA ආයතනය මෙහෙයුමේ ප්‍රගතිය පිළිබඳව දැඩි සුබවාදී අදහස් පළ කළ අතර, ගවේෂණ පද්ධති සංවර්ධන මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩබලන සහකාර පරිපාලක ලෝරි ග්ලේස් ප්‍රකාශ කළේ, බ්‍රහස්පතින්දා පැවති පෙරහුරු කටයුතු ඉතා සුමටව සිදු වූ බව හා, මාර්තු 6 වනදා දියත් කිරීම සඳහා ඔවුන් ඉතා හොඳ මට්ටමක පසුවන බවයි.

නමුත් සෙනසුරාදා උදෑසන වන විට තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් වී තිබුණා. NASA පරිපාලක ජැරඩ් අයිසැක්මන් ‘X’ ජාලයේ පළ කළ ප්‍රකාශය මඟින් අනාවරණය වූයේ රොකට්ටුවේ ඉහළ කොටස තුළ හීලියම් වායුව ගලායාමේ බාධාවක් පවතින බවයි. සිකුරාදා රාත්‍රියේ සිදු කළ සාමාන්‍ය හීලියම් ගලායාමේ මෙහෙයුම් අතරතුර මෙම දෝෂය හඳුනාගත් අතර, NASA කණ්ඩායම් මුළු රාත්‍රිය පුරා ම අවදියෙන් සිටිමින් මෙම දත්ත විශ්ලේෂණය කිරීමට කටයුතු කර තිබුණා. අයිසැක්මන් පෙන්වා දෙන පරිදි මේ සඳහා හේතු කිහිපයක් බලපා තිබිය හැකි අතර, ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ දැනටමත් ආරම්භ කර තිබෙනවා.

මෙම හීලියම් ගලායාම ඇණහිටීම මෙතරම් බැරෑරුම් ලෙස සලකන්නේ ඇයි ද යන්න තේරුම් ගැනීමට, රොකට්ටුවේ ක්‍රියාකාරීත්වය හඳුනාගත යුතු වනවා. රොකට්ටුවක ප්‍රචාලන පද්ධතිය තුළ හීලියම් වායුව ඉටුකරන කාර්යභාරය එහි “හුස්ම” වැනි බව පැවසෙනවා. රොකට්ටුවේ ඉන්ධන ටැංකි තුළ ඇති ද්‍රව හයිඩ්‍රජන් සහ ද්‍රව ඔක්සිජන් නිසි ලෙස පීඩනයට පත් කිරීම සඳහා හීලියම් අත්‍යවශ්‍යයි. රොකට් එන්ජිම නිවැරැදි ව හා කාර්යක්ෂම ව ක්‍රියාත්මක වීමට නම් මෙම පීඩනය අනිවාර්යයෙන් ම පවත්වා ගත යුතු වනවා. කුඩා හෝ තාක්ෂණික දෝෂයක් විශාල මෙහෙයුමක් අනතුරේ හෙළිය හැකි බැවින්, හීලියම් පද්ධතියේ පවතින ඕනෑ ම දෝෂයක් මඟ හැරිය නො හැකියි.

“මෙම තත්ත්වය හේතුවෙන් ජනතාව අධෛර්යයට පත් ව සිටින බව මම දන්නවා. ඒ කලකිරීම වඩාත් ම දැනෙන්නේ මෙම දැවැන්ත උත්සාහය වෙනුවෙන් වෙහෙස නො බලා කැපවුණු NASA කණ්ඩායමටයි.” ජැරඩ් අයිසැක්මන් සිය X පණිවුඩයේ සඳහන් කරනවා.

මෙම ගැටලුව නිරීක්ෂණය කිරීම සහ අවශ්‍ය අලුත්වැඩියාවන් සිදු කිරීම සඳහා Space Launch System (SLS) රොකට්ටුව නැවතත් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටි යානා එකලස් කිරීමේ ගොඩනැගිල්ල (VAB) වෙත ගෙන යා යුතුයි. NASA ආයතනය VAB සලකන්නේ රොකට්ටුවලට අවශ්‍ය පහසුකම් සපයන “යෝධ ගරාජයක්” ලෙසයි.

රොකට්ටුව දියත් කිරීමේ වේදිකාවේ පවතින විට එහි ඉහළ කොටස පරීක්ෂා කිරීමට හෝ අවශ්‍ය අලුත්වැඩියාවන් සිදු කිරීම අසීරුයි. රොකට්ටුව නැවත VAB වෙත ගෙන යාම මඟින් තාක්ෂණික ශිල්පීන්ට එහි ඉහළ කොටස පරීක්ෂා කිරීමට සහ දෝෂ නිරාකරණය කිරීමට අවශ්‍ය පූර්ණ ප්‍රවේශය හිමි වනවා. මේ සඳහා සූදානම් වීමේ පියවරක් ලෙස, රොකට්ටුවේ ඉතිරි වැඩකටයුතු සඳහා සිකුරාදා ස්ථාපනය කරන ලද වේදිකා මේ වන විටත් ඉවත් කරමින් තිබෙනවා.

අභ්‍යවකාශ ගවේෂණයේ දී මෙවැනි තාක්ෂණික බාධාවන් පසු කිරීමට සිදු වීම අමුතු දෙයක් නොවෙයි. 2022 වසරේ දී සාර්ථක ව දියත් කළ Artemis I මිනිසුන් රහිත පරීක්ෂණ මෙහෙයුමේ දී ද මෙවැනි ම හීලියම් පද්ධතියේ දෝෂයක් වාර්තා වී තිබුණා. අභ්‍යවකාශ ගවේෂණයේ දී සෑම විට ම ආරක්ෂාවට මුල් තැන දිය යුතු අතර, දහස් ගණන් පිරිසකගේ කැපවීම සහ මහජන මුදල් වැයවන මෙවැනි මෙහෙයුමක දී උපරිම නිරවද්‍යතාවය සහතික කිරීමට NASA ආයතනය ප්‍රමුඛත්වය ලබා දෙනවා.

හීලියම් පද්ධතියේ දෝෂය හේතුවෙන් මාර්තු මාසයේ දියත් කිරීමේ අවස්ථාව ගිලිහී ගිය ද, අනාගතය පිළිබඳව සුබවාදී බලාපොරොත්තු තවමත් පවතිනවා. පවතින තත්ත්වය අනුව මීළඟ දියත් කිරීමේ දින වකවානු අප්‍රේල් 1 සහ අප්‍රේල් 6 අතර කාලය දක්වා කල් ගොස් තිබෙනවා.

සත්‍ය හෙට්ටිආරච්චි



from Vidusara Science Magazine https://ift.tt/WAqhBld
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!