zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

වසර 9,500ක් පැරැණි ආදාහන චිතකයක් අප්‍රිකාවෙන් සොයාගැනේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

වසර 9,500කට පමණ පෙර තනන ලද ආදාහන චිතකයක් අප්‍රිකාවෙන් සොයාගෙන තිබෙනවා. එය පුරාණ මානව ප්‍රජාවන්ගේ සංකීර්ණත්වය පිළිබඳ නවතම අවබෝධයක් ලබා දෙන සොයාගැනීමක් ලෙස දැක්විය හැකියි.

​උතුරු මලාවි හි හෝරා කන්ද (Mount Hora) පාමුල පිහිටි ගල් ගුහාවක තිබී සොයාගත් මෙම චිතකය, වැඩිහිටි දේහයක් අඩංගු ලොව පැරණිතම චිතකය ලෙසත්, අප්‍රිකාවෙන් තහවුරු වූ පැරණිතම චේතනාන්විත ආදාහනය ලෙසත් සැලකෙන බව පර්යේෂකයෝ පවසනවා. එමෙන් ම, අප්‍රිකානු දඩයම්-එකතු කරන්නන් හා සම්බන්ධ බවට හඳුනාගත් පළමු චිතකය වන්නේ ද මෙයයි.

මෙම ස්ථානයේ ​2017 සහ 2018 වසරවල සිදුකළ කැණීම්වල දී අළු, අඟුරු සහ අවසාදිත ස්ථර සමඟින්, උස මීටර් 1.5කට (අඩි 5ක් පමණ) වඩා අඩු වැඩිහිටි කාන්තාවකගේ බවට සැලකෙන මිනිස් අස්ථි කැබලි 170ක් පොකුරු දෙකක් ලෙස සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, එම කාන්තාවගේ හිස්කබල සොයාගැනීමට නො හැකි වූ අතර, සිරුර පුළුස්සා දැමීමට පෙර එහි ඇතැම් අස්ථි සන්ධිවලින් වෙන් කර ඇති බවත්, මස් ඉවත් කර ඇති බවත් අස්ථි මත ඇති කැපුම් සලකුණු මගින් ඉඟි පළ ව තිබුණා.

“මෙම දේහයන් සම්බන්ධයෙන් කිසිදු ආකාරයක ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් හෝ මිනී මස් අනුභව කිරීමක් (cannibalism) සිදු වූ බවට සාක්ෂි නොමැති” බව මෙම අධ්‍යයනයට නායකත්වය දුන් ඔක්ලහෝමා විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජෙසිකා සෙරෙසෝ-රෝමන් පවසනවා. ඒ වෙනුවට, ඇය පවසන්නේ ශරීරයේ කොටස් ඉවත් කරන්නට ඇත්තේ අවමංගල්‍ය චාරිත්‍රයක කොටසක් ලෙස, සමහරවිට සමරු සිහිවටන ලෙස තබා ගැනීමට විය හැකි බවයි.

මෙම අධ්‍යයනයේ සම කතුවරියක වන යේල් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජෙසිකා තොම්සන් පවසන්නේ, මෙවැනි සිරිත් විරිත් වර්තමානයට ගැළපෙන බවක් නො පෙනුණ ද, මිනිසුන් තවමත් හිසකෙස් රොදවල් හෝ ඥාතීන්ගේ භස්මාවශේෂ අර්ථවත් ස්ථානයක විසුරුවා හැරීම සඳහා තබාගැනීමට සමාන ක්‍රියාවක් බවයි.

​පර්යේෂකයන්ට අනුව, මෙම ගල් ගුහාව වසර 16,000ක සිට 8,000කට පෙර කාලය දක්වා භූමදානය කිරීම් සිදුකළ ස්වභාවික ස්මාරකයක් ලෙස භාවිත කර ඇති බව පෙනෙනවා. එහි තිබී සම්පූර්ණ අස්ථි පද්ධති මෙන් ම, විවිධ පුද්ගලයන්ට අයත් ඉතා කුඩා අස්ථි කොටස් එකතු ද හමු වී තිබෙනවා.

​“ආදාහනය කරන ලද මෙම කාන්තාවගේ අතුරුදන් වී ඇති සමහර අස්ථි කොටස්, මතක සටහන් ලෙස තබා ගැනීමට හෝ වෙනත් ස්ථානයක නැවත තැන්පත් කිරීම සඳහා හිතාමතා ම ඉවත් කරගෙන යන්නට ඇති බවට අප සතු උපකල්පනය මෙයින් තහවුරු වනවා” යැ යි ක්ලීව්ලන්ඩ් ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ ආචාර්ය එබෙත් සව්චුක් පවසනවා ඇය ද මෙම අධ්‍යයනයේ සම-කතෘවරියක වනවා.

​එමෙන් ම, ආදාහනය සඳහා දැල්වූ දර සෑය තුළ තිබී ගල් ආයුධ තැනීමේ දී ඉතිරි වන ගල් පතුරු සහ තියුණු කොටස් ද පර්යේෂණ කණ්ඩායමට හමු වුණා. මේවා අවමංගල්‍ය චාරිත්‍රයක කොටසක් ලෙස එකතු කරන්නට ඇති බව විශ්වාස කෙරෙනවා.

​“මිනිසුන් සක්‍රීය ව මේවා ගින්නට දැමුවා ද, එසේත් නැතිනම් ඒවා සිරුර තුළ ම තිබූ දේවල් ද?” යව පැනය තොම්සන් නඟනවා.

​එම දර සෑය ‘ක්වීන්’ (Queen-sized) ප්‍රමාණයේ මෙට්ටයකට සමාන විශාලත්වයකින් යුක්ත වූ බවත්, එය නිවැරදිව නිර්මාණය කිරීමට සහ පවත්වාගෙන යාමට විශාල දැනුමක්, නිපුණත්වයක් සහ සම්බන්ධීකරණයක් අවශ්‍ය වන බවත් පර්යේෂණ කණ්ඩායමේ නිරීක්ෂණය වී තිබුණා. තව ද, එහි තිබී හමු වූ අස්ථි පොකුරු දෙකෙන් ගම්‍ය වන්නේ ආදාහනය අතරතුර සිරුර එහා මෙහා කර ඇති බවයි.

The Guardian ඇසුරෙනි.

නිම්නා අමරසේකර

 

 

 

 



from Vidusara Science Magazine https://ift.tt/q85MhWY
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!