කැනේඩියානු සහ ජපාන ඒකාබද්ධ විද්‍යාඥයින් කණ්ඩායමක් ජීවයේ සම්ප්‍රදායික අර්ථ දැක්වීම්වලට අභියෝගයක් වන නවතම ජීව විශේෂයක් සොයාගෙන තිබෙනවා.
පසුගිය මැයි මස 2 වැනි දින bioRxiv සර්වරයේ පළ කරනු ලැබූ වාර්තාවකට අනුව මෙම ජීවියා නම් කර තිබෙන්නේ Sukunaarchaeum mirabile ලෙසයි. ඒ ද්විපද නාමයේ පළමු පදය වන ගණ නාමය ලබා දී තිබෙන්නෙ ජපානයේ ෂින්ටො ආගමේ එන දේවතාවකු වන Sukunabikona සිහිවීම පිණිසයි. මෙම ජීවියා පරිණාමීය ව වයිරස සහ සජීවී සෛල අතර පවතින අතර, තවමත් අදෘශ්‍යමාන අඳුරු සීමාවකට අයත් බවයි විද්‍යාඥයින්ගේ අදහස. ඒ අනුව අප සාමාන්‍යයෙන් ජීවීන් ලෙස නො සලකන වයිරසවල ලක්ෂණ මෙන් ම ජීවීන්ගේ ලක්ෂණ ද පොදුවේ මෙම ජීවියා විසින් ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයක් වනවා. Sukunaarchaeum mirabile අයත් වන්නේ ජීව ලෝකය බෙදෙන අධි රාජධානි (Domain) තුනෙන් පළමුවැන්න වන ආකියා (Archaea) අධි රාජධානියටයි.
ඒ අනුව කැනඩාවේ ඩැල්හවුසී සරසවියේ විද්‍යාඥ Ryo Harada ප්‍රධාන පර්යේෂණ කණ්ඩායමක් විසින් මේ ජීවියා ප්‍රථම වරට සොයා ගන්නේ මුහුදු ප්ලවාංග ලෙස වෙසෙන ඩයිනොෆ්ලැජලාටා වංශයට අයත් Citharistes regius නම් ඇල්ගී විශේෂයේ ජීනෝමය පරීක්ෂා කිරීමේ දීයි. එහි දී ඔවුන් අනාවරණය කරගන්නේ එම මුහුදු ප්ලවාංගය තුළ මෙතෙක් දන්නා කිසි ම ජීවියෙකුට නො ගැළපෙන ආකාරයේ වෘත්තාකාර DNA කොටසක් අඩංගු වන බවයි.
තවදුරටත් එය විශ්ලේෂණය කිරීමෙන් එය ආකියා අධි රාජධානියට අයත් ජීවියෙකුගේ බව හඳුනා ගැනීමට ඔවුන් සමත් වනවා. එහෙත් පුදුමයකට මෙන් එම ජීනෝමයේ අඩංගු වන්නේ භස්ම යුගල් 238,000 ක් තරම් අඩු ගණනක්. ඒ අනුව මෙයට පෙර හඳුනාගෙන තිබූ කුඩාතම ආකියා ජීනෝමයේ අඩංගු 490,000 ක් වන භස්ම යුගල සංඛ්‍යාවෙන් අඩකටත් වඩා අඩු ගණනක් මේ අලුත්ම අමුත්තාට අයත් බව සොයා ගැනුණා.
එපමණක් නොව වයිරසවලට නොමැති රයිබොසෝම තැනීමේ හැකියාව, t – RNA සහ m – RNA මෙන්ම ප්‍රෝටීන නිපදීමේ හැකියාව මේ ජීවියා සතු බව ද සොයාගැනුණා. තව ද මේ නවතම ජීවියා වයිරස් මෙන් සිය ප්‍රජනන අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීම සඳහා වෙනත් ජීවියෙකුගේ පරපෝෂිතයෙකු ලෙස ආකියා අධි රාජධානිය තුළින් හඳුනාගනු ලැබූ පළමු ජීවියා ලෙස ඉතිහාසයට එක් වනවා.
ඉහත පර්යේෂණ වාර්තාවේ එක් කතුවරයෙකු වන ජපානයේ සුකුබා සරසවියේ සහාය මහාචාර්ය ටකුරෝ නකයාමා පවසන්නේ ආකියා පවුල් ගසේ පැරණි ම ශාඛාවකට මෙම ජීවියා අයත් වන බවයි. මුහුදේ පාවෙන අයිස් කන්දක මුදුන පමණක් නියෝජනය කරන මේ ජීවියා මඟින් අතිශය කුඩා ජීනෝමයන් සහිත ව සැඟවුණු ජෛව විවිධත්වය සැබවින් ම ක්ෂුද්‍ර ජීවී අඳුරු පදාර්ථයක් මෙන් අබිරහස් බව ඔහු පෙන්වා දෙනවා.
ප්‍රේමශාන්ත කුමාරසිරි
from Vidusara Science Magazine https://ift.tt/7jDidxB
via Magazine




Post a Comment