හිම දියවීම සහ වනාන්තර විනාශය බොහෝ සත්ත්ව විශේෂ වඳ වී යාම කරා තල්ලු කරමින් පවතින අතර, අලුත් ම රතු ලැයිස්තුව (Red List of Threatened Species) පෙන්වා දෙන්නේ සියලුම සතුන්, ශාක සහ දිලීර වලින් හතරෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයක් අවදානමට ලක් ව ඇති බවයි.
ගෝලීය උණුසුම හේතුවෙන් ආක්ටික් සීල් සතුන් විශේෂ තුනක් (Arctic seals) දැන් වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින අතර, වාසස්ථාන අහිමි වීම නිසා ලෝකයේ පක්ෂීන්ගෙන් අඩක් පමණ ද පරිහානියට පත්වෙමින් පවතිනවා. නමුත්, හරිත මුහුදු කැස්බෑවාගේ (green sea turtle) නැවත පැමිණීම පෙන්නුම් කරන්නේ සිදු කරන ලද සංරක්ෂණ ප්‍රයත්න මඟින් තත්වය යම් තරමකට වෙනස් කළ හැකි ආකාරයයි.
ජාත්‍යන්තර ස්වභාවධර්ම සංරක්ෂණ සංගමය හෙවත් International Union for Conservation of Nature – IUCN මඟින් සකස් කරන ලද රතු ලැයිස්තුව (Red List), සත්ත්ව විශේෂ වඳවීමේ අවදානම පිළිබඳ වඩාත් ම බලයලත් ගෝලීය තක්සේරුවයි. අබුඩාබිහි පැවති IUCN ලෝක සංරක්ෂණ සම්මේලනයේ දී (IUCN World Conservation Congress) නිකුත් කරන ලද, යාවත්කාලීන කරන ලද දත්ත ගබඩාවට විශේෂ 172,620 ක් ඇතුළත් වන අතර, එයින් 48,646 ක් වඳවීමේ තර්ජනයට ලක් ව තිබෙනවා.
සම්මන්ත්‍රණයේ සිට වීඩියෝ ඇමතුමක් හරහා CNN වෙත අදහස් දක්වමින්, IUCN හි සත්ත්ව විශේෂවල පැවැත්ම පිළිබඳ කොමිසමේ සභාපති ජෝන් පෝල් රොඩ්රිගස් (Jon Paul Rodríguez) සඳහන් කළේ රතු දත්ත වාර්තාව වඳව යාමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නක් බවයි. “ඔබ අසනීප වූ විටක දී උෂ්ණත්වමානයක් මෙන් ක්‍රියාකරන රතු දත්ත වාර්තාව යම් වැරැද්දක් ඇති බව පවසනවා. අප ක්‍රියා කළ යුතුයි.”
මෙම පර්යේෂණය මඟින් ආක්ටික් සීල් සතුන් මුහුණ පා සිටින දුක්ඛිත තත්ත්වය මනාව ඉස්මතු කර දක්වනවා. ඔවුන් ප්‍රජනනය සඳහා සහ පැටවුන් ඇති දැඩි කිරීම සඳහා මුහුදු අයිස් මත යැපෙන අතර, විවේක ගැනීමට හා ආහාර සපයා ගන්නා ප්‍රදේශවලට යාමට ද එය භාවිත කරනවා.
ලෝකයේ සෙසු ප්‍රදේශවලට වඩා හතර ගුණයක වේගයෙන් ආක්ටික් ප්‍රදේශය උණුසුම් වීම හේතුවෙන් මුහුදු අයිස් ශීඝ්‍රයෙන් පසු බසිමින් පවතිනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, හූඩඩ් සීල් (hooded seal) නමැති සීල් විශේෂය අවදානමට ලක් වූ (endangered) ලෙස ලැයිස්තුගත කර ඇති අතර, බියර්ඩඩ් සීල් (bearded seal) සහ හාප් සීල් (harp seal) විශේෂ දෙක තර්ජනයට ලක් වීමට ආසන්න (near-threatened) තත්ත්වයේ පවතී.
යාවත්කාලීන තොරතුරු අනුව, අයිස් තුනී වීම මෙම කලාපයේ අනෙකුත් සීල් විශේෂයන්ට, වොල්රස් (walruses) සතුන්ට සහ අනෙකුත් මුහුදු ක්ෂීරපායින්ට ද තර්ජනයක් වනවා. තව ද, හිම වලසුන් (polar bears) වැනි සතුන්ට ගොදුරු කර ගැනීම සඳහා අඩු සීල් සංඛ්‍යාවක් ඉතිරි ව සිටින බැවින්, එය ආහාර දාමයට බලපාමින් පරිසර පද්ධතියට පුළුල් බලපෑමක් එල්ල කරනු ඇති බව සඳහන්.
නිම්නා අමරසේකර
from Vidusara Science Magazine https://ift.tt/FbKMQma
via Magazine
Post a Comment