zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ජේම්ස් වෙබ් නෙතට දිස් වූ සමනල නීහාරිකාවේ අලුත් ම දසුන

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

විශ්වයේ සැඟවුණු විවිධ කුරුලු හැඩැති නීහාරිකාවන් දෙස මෙතෙක් සිය නෙත් යොමු කළ ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය සිය පක්ෂි විද්‍යා (Ornithology) බැල්මෙන් මිදී නවතම කීට විද්‍යා (Entomology) නිරීක්ෂණයක් ලබාගත් ආකර්ෂණීය දසුනක් නොබෝදා එළි දක්වනු ලැබුවා.

එයට සාක්ෂියක් ලෙස පසුගිය අගෝස්තු මස 27 වෙනි දින Monthly Notices of the Royal Astronomical Society ජර්නලයේ පළ කර ඇති පර්යේෂණ වාර්තාවකට අනුව ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂ නෙතට හසු වූ සමනල නීහාරිකාවේ (Butterfly Nebula) චමත්කාරජනක රුව දැන් මහජනතාවට දැකබලාගත හැකියි.
National General Catalogue අනුව NGC 6302 යන නිල නාමයෙන් හඳුන්වන සමනල නීහාරිකාව පිහිටා තිබෙන්නේ ගෝනුසු හැඩැති තාරකා මණ්ඩලය වන වෘශ්චික රාශියේ වලිගය තුළ ආලෝක වර්ෂ 3,400 ක් දුරින්.

අපේ ක්ෂීරපථ චක්‍රාවාටය තුළ අඩංගු අතිශය උණුසුම් තාරකාවලින් එකක් සිය කේන්ද්‍රයේ රඳවාගෙන සිටින සමනල නීහාරිකාව මියයමින් පවතින තාරකාවක හංස ගීතය ලෙස හැඳින්විය හැකියි.
කලකට ඉහත අපේ සූර්යයා වැනි තරුවකින් හටගත් සුදු වාමන තාරකාවක් වන එහි උෂ්ණත්වය කෙල්වින් 220,000 ක් තරම් ඉහළයි.

සෙමෙන් මිය යමින් තිබෙන එහි බාහිර ස්තරවලින් පිට වන අතිශය උණුසුම් වායු දහරාවල බැබලීමෙන් හටගත් සමනලයෙකුගේ තටු වැනි දීප්තිමත් ඛණ්ඩිකාවන් දෙකක් තරුව වටා ඇති නිහාරිකාවට අනන්‍ය ආවේණික හැඩයට හේතු වනවා.

මෙයට පෙර හබල් අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් මෙම විශ්ව සමනලයාගේ තටු වැනි වායු ප්‍රවාහ මෙන් ම දීප්තිමත් ව බැබලෙන තාරීය මධ්‍යය ද නිරීක්ෂණය කර තිබෙන නමුත් මෙවර ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂ නිරීක්ෂණයෙන් කලින් නොදුටු ලක්ෂණ රැසක් අනාවරණය කර ගැනීමට හැකි වී ඇත්තේ එහි සමීප අධෝරක්ත නිරීක්ෂණ ඇස නිසයි. ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් සමනල නීහාරිකාවේ විවිධ කොටස් විශ්ලේෂණය කිරීමෙන් ඒවායේ ක්වාට්ස්, යකඩ, නිකල් සහ පොලිසයික්ලික් ඇරෝමැටික් හයිඩ්‍රොකාබන් වැනි කාබන් පාදක අණු පවා අඩංගු බව හඳුනාගෙන තිබෙනවා.
මෙම දූවිලි ආකාර අංශුමය ද්‍රව්‍ය අනාගතයේ යම් දිනයක පාෂාණමය ග්‍රහලෝක නිර්මාණය කරන තැනුම් ඒකක විය හැකි බව පර්යේෂණ කණ්ඩායම පවසනවා.

ඉහත පර්යේෂණ වාර්තාවේ ප්‍රධාන කතුවර මෙන් ම එක්සත් රාජධානියේ කාඩිෆ් සරසවියේ තාරකා භෞතික විද්‍යාඥවරියක වන මිකාසෝ මට්සූරා සඳහන් කරන්නේ මෙම සොයා ගැනීම ග්‍රහලෝකවල මූලික ද්‍රව්‍ය එක්‍ රැස් වන ආකාරය අවබෝධ කර ගැනීම වෙනුවෙන් තබන ලද විසල් පියවරක් බවයි.

ප්‍රේමශාන්ත කුමාරසිරි



from Vidusara Science Magazine https://ift.tt/eoA94lE
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!