පසුගිය වසරේ ජුනි 05 දා Boeing Starliner යානයේ පළමු නියමු මෙහෙයුම සිදු කරමින් දින 10ක කෙටි කාලයක් සඳහා ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළට (ISS) පිවිසීමෙන් පසු අනපේක්ෂිත ලෙස මාස නවයක කාලයක් එහි රැඳී සිටීමට සිදු වූ ගගනගාමීන් දෙදෙනා ලබන සතියේ පොළොවට ගෙන්වා ගන්නා බව NASA ආයතනය පසුගිය දා නිවේදනය කළා. ඒ අනුව Starliner යානයේ ඇති වූ හීලියම් කාන්දුවක් සහ තවත් සංකීර්ණතා කිහිපයක් හේතුවෙන් ISS හි දිගින් දිගට ම රැඳී සිටින්නට සිදු වූ Butch Wilmore සහ Suni Williams එලැඹෙන මාර්තු 16 දා පොළොවට පැමිණීමට නියමිතයි.
ගගනගාමීන් සහිත ව Starliner ආපසු ගෙන්වා ගැනීම අවදානම් සහගත බව තීරණය කළ NASA ආයතනය නියමුවන් රහිත ව එය ගෙන්වා ගැනුණේ පසුගිය සැප්තැම්බරයේයි. ඉන් සති කිහිපයකට පසු SpaceX Crew-9 මෙහෙයුමෙන් NASA ගගනගාමී Nick Hague සහ Roscosmos විශ්වගාමී Aleksandr Gorbunov ISS වෙත පැමිණියේ ආපසු ගමනේ දී Williams හා Wilmore වෙනුවෙන් හිස් අසුන් දෙකක් ද සුරැකි ව තබාගෙනයි.
ලබන 12 වැනි දා කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට Nichole Ayers, Kirill Peskov, Anne McClain සහ Takuya Onishi රැගත් SpaceX Crew-10 මෙහෙයුම ISS වෙත ගමන් අරඹන අතර, ඔවුන්ට ISS භාරදීමෙන් පසු මාර්තු 16 වැනි දා Crew-9 මෙහෙයුමේ ගගනගාමීන් දෙදෙනා සමඟ Butch සහ Suni පොළොව බලා පිටත් වනු ඇත්තේ ලෝකයේ ම අවධානය දිනාගනිමින්.
Space.com ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්
from Vidusara Science Magazine https://ift.tt/liDwdOg
via Magazine
Post a Comment