NASA ආයතනය මෙතෙක් එහි පැවති ප්‍රධාන විද්‍යාඥයාට අයත් කාර්යාලය ඉවත් කිරීමට තීරණය කළ බව නිවේදනය කර තිබෙනවා. ට්‍රම්ප් පාලනය යටතේ ඊලෝන් මස්ක්ගේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ යෝජනාවලට අනුගත ව ගෙන ඇති මෙම තීරණයට සමගාමී ව NASA තුළ පැවති තවත් දෙපාර්තමේන්තු දෙකක් ද ඉවත් කර දැමීමට තීරණය කර තිනෙවා.
විවිධත්වය, සමානාත්මතාව, අන්තර්ගත කිරීම සහ ප්‍රවේශ්‍යතාව (diversity, equity, inclusion and accessibility-DEIA) වෙනුවෙන් පිහිටුවා තිබූ දෙපාර්තමේන්තුව සහ වැදගත් අවද්ථාවල දී NASA ඉහළ කළමනාකාරිත්වයට තීන්දු තීරණ ගැනීම සඳහා උපදේශන ලබාදීමට පිහිටුවා තිබූ තාක්ෂණ, ප්‍රතිපත්ති සහ උපායමාර්ග කාර්යාලය මෙලෙස වසා දැමුණු අනෙකුත් අංශ දෙකයි. NASA වැඩබලන පරිපාලකවරිය වන ජැනට් පෙට්‍රෝගේ අත්සන සහිත අභ්‍යන්තර ලියැවිල්ලකට අනුව මෙකී දෙපාර්තමේන්තුවල සේවය කළ සේවකයන් ගණනාවකගේ රැකියා අහිමි වනවා. රැකියා අහිමිවන සේවකයන් ගණන කොපමණ දැ යි මෙතෙක් තහවුරු වී නැහැ.
ජැනට් පෙට්‍රෝ මින් පෙර අවස්ථාවක සඳහන් කර තිබුණේ ආයතනයට අනුබද්ධ ව පවත්වාගෙන යන DEIA ව්‍යාපෘති බෙදුම්වාදී, නාස්තිකාර මෙන් ම නින්දාසහගත වන බවයි. ඇය මෙම තීරණය සලකන්නේ ට්‍රම්ප් පාලනයේ ප්‍රමුඛත්වයන් සහ ස්වකීය ආයතනයේ මෙහෙයුම්වලට මුල් තැන දෙමින් ගත් තීරණයක් ලෙසයි.
කෙසේ නමුත් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ NASA ආයතනය තවමත් සිය ප්‍රමුඛ අභිලාශයන් අතර පවත්වාගෙන යන සඳ මතට මුල් ම කාන්තාව සහ කළු ජාතික පුද්ගලයා ගොඩබැස්වීමේ ඉලක්කය ද පැමිණ ඇත්තේ මෙලෙස කපා හැරුණු DEIA අංශය මඟින් බවයි.
The Guardian ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්
from Vidusara Science Magazine https://ift.tt/Wj6E7hp
via Magazine
Post a Comment