අප දැන් සිටින්නේ mpox (Monkeypox) හෙවත් වඳුරු උණ මධ්‍යම සහ බටහිර අප්‍රිකාව තුළ වේගයෙන් පැතිරීම හේතු කොටගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ජාත්‍යන්තර අවධානයට ලක් විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති පසුබිමකයි. වසර දෙකක කාලයක් තුළ මේ රෝගයට අදාළ ව එවැනි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට WHOට සිදු වූ දෙවැනි අවස්ථාව මෙයයි.
Mpox යනු වසූරිය හෙවත් smallpox රෝගය ඇති කරන ව්‍යාධිජනක වයිරස පවුලට ම අයත් වයිරසයක් මඟින් පතුරවනු ලබන්නක්. මධ්‍යම හා බටහිර අප්‍රිකානු රටවල වෙසෙන Rodentia කුලයට අයත් සතුන් සහ වඳුරන් අතර බහුල ව පැතිරී යන වයිරසක් ලෙස හඳුනාගත හැකියි. ඇතැම් අවස්ථාවල දී සතුන්ගෙන් මිනිසුන්ට වැළඳී සුළු මට්ටමේ වසංගත දක්වා හිස ඔසවා තිබෙන බව දැකිය හැකියි.
Mpox රෝගය clade I සහ clade II ලෙස ප්‍රධාන ප්‍රභේද දෙකකට බෙදෙනවා. මේ අතරින් වඩාත් ම භයානක සහ වැළඳුණු විට මාරාන්තික විය හැකි ප්‍රභේදය වන්නේ පළමු වැන්නයි. මෙවර ඇති වී තිබෙන වසංගත තත්ත්වය හටගෙන තිබෙන්නේ clade Iහි උප ප්‍රභේදයක් වන clade Ib මඟින්. 2022 සහ 2023 වසරවල වාර්තා වූයේ clade II ව්‍යාප්ත වීම්. ඒ අනුව මෙවර වසංගත තත්ත්වය පෙර වසරවලට වඩා භයානක වීමට යම් ඉඩක් තිබෙනවා. කෙසේ නමුත් එක්සත් රාජධානයේ The Pirbright Instituteහි වයිරස විද්‍යාඥ Jonas Albarnaz පෙන්වා දෙන්නේ clade Ib, clade I තරම් ම මරණීය බව පැවසීමට තරම් සාධක නොමැති බවයි.
පසුගිය 13 වැනි දා අප්‍රිකා රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථාන විසින් නිකුත් කර තිබූ වාර්තාවලට අනුව අප්‍රිකානු මහාද්වීපය පුරා වසර තුළ වාර්තා වූ වඳුරු උණ රෝගීන් සංඛ්‍යාව 17,000 ඉක්මවනවා. එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ විද්‍යාගාර පරීක්ෂණ, ප්‍රවීක්ෂණය සහ ආශ්‍රිතයන් සොයා යාමේ දුර්වලතා සලකා බැලූ විට මේ අගය හුදෙක් අයිස් කන්දක මුදුන පමණක් විය හැකි බවයි.
WHO සඳහන් කරන පරිදි කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ පමණක් මේ වන විට Mpox ආසාදිතයන් 15,664ක් සහ මරණ 537ක් වාර්තා වී තිබෙනවා. එය මින් පෙර වසරවල දී වාර්තා වී ඇති ආසාදන සහ මරණවලට සාපේක්ෂ ව සැලකිය යුතු මට්ටමේ ඉහළ අගයක් බව WHO පෙන්වා දෙනවා. අප්‍රිකානු මහාද්වීපය තුළ ඇති රටවල් 11කින් mpox ආසාදිතයන් වාර්තා වී තිබෙනවා. ඒ අතර මින් පෙර රෝගය වාර්තා නො වූ කෙන්යාව, රුවන්ඩාව, බරුන්ඩි සහ උගන්ඩාව ද වනවා. මේ අතර ස්වීඩනයේ ද mpox ආසාදිතයෙක් සොයා ගැනුණා.
පැතලි කුෂ්ඨයක් ලෙස ආරම්භ වන mpox රෝග ලක්ෂණ පසු ව කැසීම සහ වේදනාව ගෙන දෙන බිබිලි බවට පත් වනවා. ඇතැම් විට මුඛය, ලිංගේන්ද්‍රය සහ ගුද මාර්ගය ආශ්‍රිත ව ද බිබිලි සහ තුවාල මතු වීමට ඉඩ තිබෙනවා. කැසීම සහ තුවාල සාමාන්‍යෙයන් සති දෙකත්, හතරත් අතර කාලයක් පවතින අතර අනතුරු ව උණ, හිස කැක්කුම, පේෂීන්වල වේදනාව, කොන්දේ කැක්කුම, වසා ගැටිති ඉදිමීම සහ තෙහෙට්ටුව වැනි රෝග ලක්ෂණ මතු වනවා. පරීක්ෂනවලින් සොයාගෙන ඇති පරිදි වයිරසය වැළඳී රෝග ලක්ෂණ පළ වීමට දින 1ත් 21ත් අතර කාලයක් ගත වනවා. කෙසේ නමුත් වයිරසය වැළඳුණ ද රෝග ලක්ෂණ පළ නො වන අවස්ථා ද තිබෙන බව වාර්තා වනවා.
Mpox, ආසාදිතයෙකු සමඟ කෙරෙන සමට සම ස්පර්ශය, සිපගැනීම සහ ලිංගික සබඳතා පැවැත්වීම ආදී සමීප සබඳතාවලින් පැතිරීම සිදු වන අතර ශ්වසන බිඳිති ඔස්සේ සහ වයිරසයට නිරාවරණය වූ ඇඳ ඇතිරිලි සහ ඇඳුම් ඔස්සේ ද වයිරස ව්‍යාප්තිය සිදු වීමේ අවදානම තිබෙනවා.
මාත්‍රා දෙකකින් පසු ආරක්ෂාව සලසා දෙන Mpox වැක්සීනයක් දැනට ලෝකයේ භාවිතයට ගැනෙනවා. මීට අමතර ව වසූරිය හෙවත් smallpox සඳහා යොදා ගන්නා වැක්සීනවලින් ද ආරක්ෂාව සැපයෙන බව සොයාගෙන තිබෙනවා. කෙසේ නමුත් මේ වැක්සීන ද්විත්වය ම නව mpox ප්‍රභේදයට එරෙහි ව ආරක්ෂාව සලසන්නේ ද යන්න තවමත් නිසි පරිදි තහවුරු වී නැහැ.
New Scientist ඇසුරෙනි.
සෞන්දර්ය සෙනරත්
Post a Comment