zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ශාක ලොවට පෑයූ දේදුන්න: 'රේන්බෝ යුකැලිප්ටස්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


https://assets.roar.media/assets/s6BvkT7k6CdIi6I2_rainbow-eucalyptus-1.jpg

වර්තමාන ලෝකයේ අපූරු නිර්මාණ අතරින් බොහොමයක් ඒවා මානව බුද්ධිය යොදා ගෙන මිනිසා නිම කළ ඒවා ය. කෙසේ වෙතත් එවැනි නිර්මාණවලටත් වඩා විස්මයජනක නිර්මාණ ලෙස අප අවට පරිසරයේ දැකිය හැකි අපූරු දෑ හැඳින්විය හැකි ය. ඕනෑම රටක, ඕනෑම පරිසර පද්ධතියක් පිළිබඳ හැදෑරීමේදී එවැනි නිර්මාණ දහස් ගණනක් හඳුනාගත හැක.

කිසිවෙකුගේ මැදිහත්වීමකින් තොරව ස්වාභාවිකවම නිර්මාණය වූ එවැනි දේ අතර මනස්කාන්ත දියඇලි, ගංගා, කඳුවැටි සහ වෘක්ෂලතා ආදී බොහෝ දෑ වේ. මේ අතරින් වෘක්ෂලතා ඛාණ්ඩයට වැටෙන එවැනි අපූරු නිර්මාණයකි- 'රේන්බෝ යුකැලිප්ටස්' ශාකය. පිලිපීනය, ඉන්දුනීසියාව සහ පැපුවා නිව්ගිනියාව යන රටවලට ආවේණික දේදුනු වර්ණයෙන් යුතු මේ අපූරු ශාකය පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් සොයා බලමු.

රේන්බෝ යුකැලිප්ටස් ශාකය - www.bhg.com

'Eucalyptus deglupta' යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ශාකය සාමාන්‍ය ව්‍යවහාරයේ දී ප්‍රචලිත ව ඇත්තේ 'රේන්බෝ යුකැලිප්ටස්' යනුවෙනි. එය පිලිපීන දූපත්, ඉන්දුනීසියාව සහ පැපුවා නිව්ගිනියාව යන රටවලට ආවේණික ශාකයක් ලෙස පරිසර විද්‍යාඥයන් හඳුනාගෙන ඇත. වැසි වනාන්තර ආශ්‍රිත ව වැඩෙන එකම යුකැලිප්ටස් ශාකය ලෙස එය හඳුනා ගෙන තිබේ. යුකැලිප්ටස් ශාක ලෝකයේ වැඩියෙන් ම වැඩෙන රට වන ඕස්ට්‍රේලියාවේ දැකිය නොහැකි යුකැලිප්ටස් ශාක විශේෂ හතරෙන් එකක් ලෙස ද රේන්බෝ යුකැලිප්ටස් හඳුනාගෙන තිබේ. විවිධ වර්ණයෙන් යුතු පොත්ත නිසා මෙම ශාකය අනිකුත් යුකැලිප්ටස් ශාක අතර විශේෂ තැනක් ගනී.

ස්වභාවය

'රේන්බෝ යුකැලිප්ටස්' සාමාන්‍යයෙන් මීටර් 60-75 දක්වා උසට වැඩෙන ශාකයකි. හොඳින් වැඩුණු මෙම ශාකයක කඳ සෙන්ටිමීටර් 250කට ආසන්න විශ්කම්භයකින් යුක්ත වේ. එහි කඳේ පොත්ත ප්‍රධාන වශයෙන් ළා තැඹිලි පැහැයෙන් යුක්ත වන අතර ඊට අමතර ව එහි කොළ, රතු, දම්, අළු සහ දුඹුරු වර්ණයන්ගෙන් යුතු පොතු ද දැකිය හැකි ය.

අතුවල ඉහළ කෙළවරට වන්නට පත්‍ර පිහිටා තිබේ. හොඳින් වැඩුණු රේන්බෝ යුකැලිප්ටස් ශාකයක පත්‍රයක් මිලිමීටර් 75-150 අතර දිගකින් සහ මිලිමීටර් 50-75 අතර පළලකින් යුතු වේ. අතුවල කෙළවර පොකුරක් ආකාරයෙන් මල් හට ගනී. මෙම ශාකයේ මල්, ලා කොළ හෝ ක්‍රීම් පැහැයෙන් යුතු වේ. ශාකය පිහිටා ඇති ප්‍රදේශය අනුව ඒවායේ මල් හටගන්නා කාලය වෙනස් වේ. මල් අග දැකිය හැකි රේණු සුදු හෝ ළා කහ පැහැයක් ගනී.

ශාකයේ හටගන්නා මල් - www.austinbotany.wordpress.com

රේන්බෝ යුකැලිප්ටස් ශාකයේ පල හටගන්නා අතර එය මිලිමීටර් 3-5 ත් අතර දිගින් සහ පළලින් යුතු කරලකි. ඒවායේ දුඹුරු පැහැයෙන් යුතු කුඩා බීජ දැකිය හැකි ය.

මුල්වරට හඳුනාගැනීම සහ සිදු කර ඇති අධ්‍යයන

ජර්මානු ජාතික උද්භිද විද්‍යාඥයකු වූ කාල් ලුඩ්විග් බ්ලුම් රේන්බෝ යුකැලිප්ටස් ශාකය මුල්වරට හඳුනා ගත් අතර ඔහු 1850 දී ලියූ නිබන්ධන ග්‍රන්ථයක (Museum Botanicum Lugduno-Batavum sive stirpium Exoticarum) මෙම ශාකය පිළිබඳ බොහෝ තොරතුරු ඇතුළත් වේ. ඒ සඳහා ඔහු ඉන්දුනීසියාවට අයත් දූපතක් වන 'Celebes' හි වනාන්තරවල ගැවසෙමින් මෙම ශාකය පිළිබඳ තොරතුරු එකතු කර තිබේ. ඔහු සිය ග්‍රන්ථයේ මෙම ශාකය හඳුන්වා ඇත්තේ 'Eucalyptus deglupta' යනුවෙනි.

කාල් ලුඩ්විග් - www.wikipedia.org

ඊට දශක ගණනාවකට පසු, අමෙරිකානු උද්භිද විද්‍යාඥයකු වූ ඇඩොල්ෆ් ඩැනියෙල් එඩ්වඩ් එල්මර් 1914 වර්ෂයේ දී ඔහුගේ ග්‍රන්ථයක මෙම ශාකය පිළිබඳ සඳහන් කර තිබේ. එහිදී ඔහු එය හැඳින්වීමට පිලිපීනයේ භාවිත වූ නමක් වෙනස් කර ඒ වෙනුවට 'Eucalyptus binacag' යන නම යොදාගෙන තිබේ. කෙසේ වෙතත් ඒ වන විටත් එය හැඳින්වීම සඳහා 'Eucalyptus deglupta' නාමය යොදා තිබූ බැවින් ඇඩොල්ෆ් විසින් යෙදූ නම, රේන්බෝ යුකැලිප්ටස් ශාකය හැඳින්වීම සඳහා සමාන වචනයක් ලෙස භාවිත වේ.

19 වැනි සියවසේ ජීවත් වූ කීර්තිමත් උද්භිද විද්‍යාඥයකු වූ Asa Gray සහ තවත් විශේෂඥයන් රැසක් මෙම ශාකය පිළිබඳ අධ්‍යයන සිදු කර තිබේ. ඒ ඒ විශේෂඥයන් විසින් මෙම ශාකය හැඳින්වීම සඳහා භාවිත කළ නම් වර්තමානයේ දීත් 'රේන්බෝ යුකැලිප්ටස්' ශාකය හැඳින්වීම සඳහා සමාන වචන ලෙස යොදා ගෙන ඇත.

සාමාන්‍ය යුකැලිප්ටස් ගසක් - www.pinterest.com

ශාකයේ ව්‍යාප්තිය

රේන්බෝ යුකැලිප්ටස් ශාකය මුහුදු මට්ටමේ සිට මීටර් 1,800ක් වැනි උසින් පිහිටි වැසි වනාන්තර ප්‍රදේශ ආශ්‍රිත ව බහුල ව දැකිය හැකි ය. ඉහත සඳහන් කළ පරිදි මෙම ශාකය පිලිපීනය, ඉන්දුනීසියාව සහ පැපුවා නිව්ගිනියාව යන රටවලට ආවේණික වුවත් වර්තමානය වන විට තවත් රටවල් ගණනාවක රේන්බෝ යුකැලිප්ටස් වගා කර තිබේ. ඒ අතර අමෙරිකා එක්සත් ජනපදය ප්‍රධාන තැනක් ගනී. අමෙරිකා එක්සත් ජනපදයේ විවිධ ප්‍රාන්තවල වගා කරන යුකැලිප්ටස් ශාක, සාමාන්‍ය රේන්බෝ යුකැලිප්ටස් ශාකයක ප්‍රමාණයට වඩා උසින් අඩු ය.

වැඩීමට අවශ්‍ය සාධක

බීජ මගින් ව්‍යාප්ත වන රේන්බෝ යුකැලිප්ටස් ශාකය වර්ධනය වීම සඳහා සෙල්සියස් අංශක 20-22 අතර උෂ්ණත්වයක් අවශ්‍ය වේ. අවුරුදු පහට වඩා වයසින් අඩු ශාකවල අතු කැබලි මගින් ද මෙම ශාකය ව්‍යාප්ත කරගත හැක. ශාකයේ වැඩීමට සරු පස සහ හිරුඑළිය අත්‍යවශ්‍ය වේ. උද්භිද උද්‍යානවල වගා කරන ශාක සහ ස්වාභාවික වැසි වනාන්තරවල වැඩෙන රේන්බෝ යුකැලිප්ටස් ශාකවල පොත්තේ ඇති වර්ණවල පැහැදිලි වෙනසක් දැකිය හැකි ය.

රේන්බෝ යුකැලිප්ටස් ශාකයේ පලය - www.owlcation.com

ප්‍රයෝජන

මේ වන විට බොහෝ රටවල් රේන්බෝ යුකැලිප්ටස් ශාකය මහා පරිමාණයෙන් වගා කරයි. කඩදාසි නිෂ්පාදනය සඳහා අවශ්‍ය පල්පයක් සකසා ගැනීමට මෙම ශාකයේ විවිධ කොටස් යොදා ගනී. විශේෂයෙන් ම සුදු පැහැති කඩදාසි නිෂ්පාදනය සඳහා භාවිත කරන ශාක අතරින් ප්‍රධාන තැනක් රේන්බෝ යුකැලිප්ටස් ශාකයට හිමි වේ. පිලිපීනයේ කඩදාසි නිෂ්පාදනය සඳහා අවශ්‍ය ශාක වගා අතරින් වැඩි ප්‍රමාණයක වගා කර ඇත්තේ රේන්බෝ යුකැලිප්ටස් ය.

අමෙරිකා එක්සත් ජනපදයේ උද්‍යානයක දැකිය හැකි ගසක් - www.pinterest.com

උද්‍යාන අලංකරණය

ඊට අමතර ව උද්‍යාන අලංකරණය සඳහා ද රේන්බෝ යුකැලිප්ටස් ශාක රෝපණය කර තිබෙනු දැකිය හැකි ය. හවායි රාජ්‍යය සහ අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත ගණනාවක උද්‍යානවල මෙම ශාක වගා කර තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු කැලිෆෝනියා, ටෙක්සාස් සහ ෆ්ලොරිඩා ප්‍රාන්තවල මෙම ශාකය බහුල ව දැකිය හැක. ලොස් ඇන්ජලිස් ප්‍රදේශයේ ද සුළු වශයෙන් රේන්බෝ යුකැලිප්ටස් වගා දැකිය හැකි ය. 



Join our Whatsapp group

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!