zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

හැලෝවීන් වට්ටක්කා සැරසිලිවල සැඟවුණු ඉතිහාසය ගැන ඔබ දන්න්වාද?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



https://assets.roar.media/assets/ZGmk8eHuNqqBEhIH_Free-Scary-Jack-OLantern-Carving-Ideas-and-Faces-2021-Kids-beginners.jpg

හැලෝවීන් එසේත් නැත්නම් මළවුන්ගේ රාත්‍රිය ලෝකයේ බොහෝ රටවල් මහත් උත්කර්ෂයෙන් සමරන උත්සවයක්. ඔක්තෝබර් 31 වෙනිදාට යෙදී තිබෙන මේ උත්සවයේ කැපී පෙනෙන අංගයක් තමයි Jack-o'-lantern නමින් හඳුන්වන වට්ටක්කා යොදා ගෙන කරන අපූරු කැටයම් යෙදූ ලාම්පු.

මේ වට්ටක්කා ලාම්පු අදවන විට හැලෝවීන් උත්සවයේ ගෝලීය සංකේතය බවට පත් ව අවසන්. ඒත් මළවුන්ගේ දිනයට වට්ටක්කා සම්බන්ධ වුණේ කොහොම ද? කියන ප්‍රශ්නය ඔබට ඇති. මේ ලිපිය හැලෝවීන් උත්සවයට වට්ටක්කා සම්බන්ධ වුණු ආකාරය ගැන වන අපූරු ඉතිහාස කතාව පිළිබඳව යි.

සාම්හේන් උත්සවය -www.scotlandshop.com

හැලෝවීන් උත්සවයේ ඉතිහාසය

හැලෝවීන් උත්සවයේ ඉතිහාසය ගැන විවිධ මතිමතාන්තර පවතිනවා. දැනට පිළිගන්නා විද්වත් මතය වන්නේ පුරාණ අයර්ලන්ත උත්සවයක් වුන සම්හේන් (Samhain) හෙවත් බ්‍රිතාන්‍ය දූපත්වල වාසය කළ ගේලික් ජනවාර්ගිකයන්ගේ (Gaelic people) නව වසර ඇරඹීම සැමරූ උත්සවයෙන් හැලෝවීන් සම්භවය සිදු වූ බව යි. ගේලික් ජනතාවගේ විශ්වාසය වුණේ මේ කාලයේ දී මළවුන්ගේ ලෝකයත් මිනිස් ලෝකයත් අතර ඇති බාධකය තුනී වී මළවුන් මිහිපිටට පැමිණෙන බව යි.

එනිසා ඔවුන් ඔක්තෝබර් 31 වැනි දා රාත්‍රියේ ගිනිමැල වටා එක්රැස් වී ගිනිමැලවලට විවිධ ආහාර දමා මළවුන් පිදුවා. මළවුන්ට ඔවුන්ගේ අනන්‍යතා හඳුනා ගත නොහැකිවන පරිදි මොවුන් විවිධ ඇඳුම් හා සත්‍ත්ව හම් පැළඳ මෙය සිදු කළ බව ජනප්‍රවාදවල සඳහන්. පසුකාලීනව 7 වෙනි සියවසේදි ක්‍රිස්තියානි ආගමේ බලපෑම මත ක්‍රිස්තියානි පූජකවරුන් ගේලික් ඇදහීම් ක්‍රිස්තියානි ඇදහීම් හා සංකලනය කොට සම්හේන් උත්සවය සියලු සාන්තුවරුන්ගේ දිනය එහෙමත් නැතිනම් All hallows eve නොහොත් වත්මන් හැලෝවීන් උත්සවය බවට පරිවර්තනය කළා.මේ උත්සවයන් අමෙරිකාවට සංක්‍රමණය වීමත් සමඟ හැලෝවීන් ජනප්‍රිය සංස්කෘතියට යා වී ලොව පුරා ජනප්‍රිය වූ උත්සවයක් බවට පත්වුණා.

Jack-o'-lantern ලාම්පුවේ ජනප්‍රවාදය

හැලෝවීන් උත්සවයේ නැතුව ම බැරි අංගය වන වට්ටක්කා ලාම්පුවේ මූලාරම්භයත් හැලෝවීන්වල සම්භවය වුණු අයර්ලන්තයට ම දිවෙනවා. Jack-o'-lantern ලාම්පු චාරිත්‍රය ඇරඹීමට හේතුව පිළිබ දව අපූරු කතාවක් අයර්ලන්ත ජනශ්‍රැතියෙන් අපට හමුවනවා. ඒ මසුරු ජැක් ගේ කතාව යි.

මසුරු ජැක්ගේ ආත්මය Jack-o'-lantern -www.historicmysteries.com

මසුරු ජැක් 

අයර්ලන්ත ජනප්‍රවාද අනුව මසුරු ජැක් (Stingy Jack) කියන්නේ ඈත අතීතයේ අයර්ලන්තයේ කුඩා ගමක වාසය කළ මසුරු මිනිසෙක්. මොහුගේ මසුරුකම නිසා ම සාතන් මොහුගේ ආත්මය අපායට ලබා ගන්නට සිතා ගෙන සිටියා. ඔහුගේ ආත්මය ලබාගන්නට ඔහු වෙතට සාතන් ගියා. ඒත් කපටියෙක් වුණ ජැක් අවසන් කැමැත්ත වශයෙන් තමාට මත්පැන් පානය කළ යුතු බවට සාතන්ට පැවසුවා. සාතන් එයට අවසර ලබා දී ඔහු සමඟ මධු සලකට ගියා. එහිදී මධු පානයෙන් පසු ව ජැක් තමා අත මුදල් නැති බවත් සාතන්ට කාසියක් බවට වෙස් මාරුවන ලෙසත්, එවිට තමාට ඉන් මත්පැන් සඳහා වන මුදල ගෙවා අපායට පැමිණිය හැකි බවත් පවසනවා.

දුරදිග නොබලා එය විශ්වාස කරන සාතන් කාසියක් බවට පත්වෙනවා.එවිට ජැක් ඒ කාසිය ගෙන රිදී කුරුසියක් තිබූ සිය සාක්කුවේ එය දමා ගන්නවා. කුරුසියේ බලය නිසා සාතන්ට නැවත වෙස් මාරු කර ගැනීමට ලැබෙන්නේ නෑ. මින් අසරණ වන සාතන් ජැක්ට ආයාචනා කරමින් නිදහස ඉල්ලා සිටිනවා. ජැක් ඔහුට නිදහස ලබා දෙන්නේ වසරක කාලයකට තමන්ගේ ආත්මය අපායට ලබා නොගත යුතු යි යන කොන්දේසිය සමඟ යි.

අවසන් කැමැත්ත

වසරක් ගෙවී ගිය පසු සාතන් ජැක් සොයා නැවත පැමිණෙනවා. මෙවර ඔහු අවසන් කැමැත්ත ලෙස ඇපල් ගසකින් ඇපල් ගෙඩියක් නෙළා කෑමට දෙන ලෙස ඉල්ලා සිටිනවා. සාතන් නැවත රැවටී ඇපල් ගසකට නැග ඇපල් ගෙඩියක් කඩා දීමට හදනවා. වහා ක්‍රියාත්මක වුණු ජැක් ඒ ඇපල් ගසේ කුරුසියක් කොටා සාතන් එහි හිර කරනවා. නැවත සාතන්ට නිදහස ලැබෙන්නේ තව වසරකට ජැක්ගේ ආත්මය නිදහසේ තබන බවට වන කොන්දේසිය මත යි.

අයිරිශ් ජනතාව ටර්නිප් අලවලින් තැනු බියකරු ලාම්පු -www.atlasobscura.com

කෙසේ හෝවේවා,ගිවිසුමෙන් වසරක් ඉක්මයාමට මත්තෙන් ජැක් මිය ගියා. ඔහුගේ ආත්මය ස්වර්ගයෙන් භාර ගන්නේ නෑ. එබැවින් ඔහු අපායට නියම වෙනවා. නිරයේ දී ඔහු හමුවන සාතන් කොන්දේසියේ කාලය තව ම අවසන් නැති බැවින් ජැක් නිරයට ලබා ගත නොහැකි බව අවධාරණය කරනවා.

මේනිසා ජැක් මිනිස්ලෝකයේ ම අතරමං වන ආත්මයක් බවට පත්වුණා. සාතන් ඔහුට ටර්නිප් අලගෙඩියකින් ලාම්පුවක් සාදා එය අපායේ ගිනි දැල්ලකින් දල්වා ඔහුට ලබා දී රාත්‍රියේ මාර්ගය සොයා ගන්නට භාවිත කරන ලෙස පවසනවා. එදා පටන් ජැක්ගේ ආත්මය මේ ටර්නිප් ලාම්පුවත් සමඟ රාත්‍රිකාලයේ මිහිපිට නිදැල්ලේ සරන බවට අයිරිශ් විශ්වාසය වුණා. ලාම්පුවක් රැගෙන සැරිසරන ජැක් යන අදහසින් ඔවුන් මේ චරිතයට Jack of the lantern යන නම දුන්නා.පසුකාලීනව Jack-o'-lantern ලෙස ව්‍යවහාරයේ පහසුවට මෙය කෙටි වුණා.

ටර්නිප් ලාම්පු

බ්‍රිතාන්‍ය දූපත්වාසීන් සම්හේන් උත්සවයේ දී විවිධ එළවළු වර්ග යොදා ගෙන ඒවායේ මදය ඉවත්කොට අඟුරු පුරවා විධාකාර අද්භූත මුහුණු සංකේතවත් වන ආකාරයේ කැටයම් යොදා ඒ ලාම්පු රාත්‍රි කාලයේ ප්‍රදර්ශනයට තැබීම අනිවාර්‍ය චාරිත්‍රයක් ලෙස සිදු කළා. ස්කොට්ලන්ත හා අයර්ලන්ත වාසීන් මේ සඳහා ටර්නිප් අලත්, එංගලන්ත වාසීන් බීට් අලත් භාවිතක ළ බව ඉතිහාසය සාක්ෂි දරනවා.

අමෙරිකානු නගරයක් සරසා ඇති වට්ටක්කා ලාම්පු - www.wallpaperflare.com

මේ ලාම්පු ඈතට බියකරු රූප මෙන් පෙනෙන නිසා සම්හේන් රාත්‍රියේ දී මිහිපිටට පැමිණෙන භූතාත්මත් මසුරු ජැක්ගේ ආත්මය වැනි මිහිපිට සරන ආත්මත් මේවාට බියවී පලා යන බව ඔවුන්ගේ විශ්වාසය වුණා. කාලයත් සමඟ තරුණ කොලුගැටව් එදින රාත්‍රියට මේ ලාම්පු අල්ලාගෙන Jack-o'-lantern ලෙස වෙස්වලාගෙන අඳුරු මංමාවත් වල සැරිසරමින් ජනතාව බියවැද්දීමේ සෙල්ලමක් ආරම්භ කළා. මේ සෙල්ලම නිසාත් මේ ලාම්පුවලටත් Jack-o'-lantern යන නම ආරුඪ වුණා.

පසුකාලීනව අමෙරිකාවට සංක්‍රමණය වූ ස්කොට්ලන්ත, අයර්ලන්ත වාසීන්ට අමෙරිකන් බිමේ දී මේ උත්සවය සැමරීමට ලාම්පූ තනන්නට ටර්නිප් අල ඇති තරම් තිබුණේ නෑ. එනිසා ඔවුන් ඊට ආදේශකයක් ලෙස අමෙරිකන් බිමේ හොඳින් වැවෙන වට්ටක්කා යොදා ගන්නට පටන්ගත්තා. වට්ටක්කාවලින් කැටයම් දැමීම ටර්නිප් අලවලින් කැටයම් දැමීමට වඩා අතිශය පහසු කටයුත්තක් වීම නිසා වට්ටක්කා ලාම්පු තැනීම ශීඝ්‍රයෙන් අමෙරිකාවේ ජනප්‍රිය වුණා. ඒ අනුව ස්කොට්ලන්ත, අයර්ලන්ත ජනතාවගෙන් අමෙරිකානු සංස්කෘතියට හැලෝවීන් උත්සවය දායාද වුණා.

අමෙරිකාවේ වට්ටක්කා ගොවිබිමක් -www.travelchannel.com

Jack-o'-lantern සහ අමෙරිකානු සංස්කෘතිය

අද වනවිට හැලෝවීන් සංස්කෘතියේ කේන්ද්‍රස්ථානය වී ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදය යි. හැලෝවීන් උත්සවයට සෑම අමෙරිකානු නිවසක් ඉදිරිපිට ම එක වට්ටක්කා ලාම්පුවක් හෝ තිබීම අනිවාර්‍ය දසුනක්. වාර්ෂික ව අමෙරිකාවේ රාත්තල් බිලියන 2ක පමණ වට්ටක්කා අස්වැන්නක් අස්වනු නෙළන සමයේ දී වාර්තා වෙනවා. ඒ පලදාවෙන් රාත්තල් බිලියන 1.5 ක් ම හැලෝවීන් වට්ටක්කා ලාම්පු සඳහා ම භාවිතකොට ඉවත ලනවා. මෙය ලෝකයේ සිදුවන විශාලත ම ආහාර නාස්තීන් අතරින් එකක් ලෙසයි ඇතැමුන් සලකෙන්නේ. තත්ත්වය එසේ වුවත් Jack-o'-lantern ලාම්පු සම්ප්‍රදාය අමෙරිකානු සමාජයෙන් ලෙහෙසියෙන් මිදී යන බවක්නම් දක්නට ලැබෙන්නේ නෑ.



Join our Whatsapp Group


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!