කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නයෙන් ම පිහිටි, ජීවය පැවතීමට හිතකර යැයි අනුමාන කළ හැකි පෘථිවියට සමාන නව ග්‍රහලෝකයක් සොයාගැනීමට සමත් ව තිබෙනවා. අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සිට ආලෝක වර්ෂ 25ක් පමණ දුරින් පිහිටා ඇති බැවින් මෙය අපගේ අභ්‍යවකාශ අසල්වැසියෙකු ලෙස විද්‍යාඥයින් විසින් හඳුන්වනු ලබනවා. මෙම නව ග්‍රහලෝකය ක්ෂීරපථයේ බහුල ව ම දැකිය හැකි තාරකා ප්‍රවර්ගය වන රතු වාමන තාරකාවක් (red dwarf star) වටා, එහි ජීවයට හිතකර කලාපය හෙවත් ජලය ද්‍රව තත්ත්වයෙන් පැවතිය හැකි නිවැරැදි උෂ්ණත්වයක් සහිත කලාපය තුළ පරිභ්‍රමණය වෙමින් පවතිනවා.
GJ 3378b ලෙස නම් කර ඇති මෙම ග්‍රහලෝකය ප්‍රමාණයෙන් පෘථිවිය මෙන් දෙගුණයක් පමණ විශාලත්වයකින් යුතුයි. මෙම පර්යේෂණයේ ප්‍රධාන කතුවරයා වන තාරකා විද්‍යා සහකාර මහාචාර්ය පෝල් රොබට්සන් පවසන පරිදි මෙය ඉතාමත් සුවිශේෂී මෙන් ම උද්වේගකර සොයාගැනීමක් වනවා. මෙම සොයාගැනීම සඳහා ටෙක්සාස් ප්‍රාන්තයේ මැක්ඩොනල්ඩ් නිරීක්ෂණාගාරයේ පිහිටි මීටර් 10 ක් විශාල Hobby-Eberly දුරේක්ෂය සහ ඇරිසෝනා ප්‍රාන්තයේ කිට් පීක් ජාතික නිරීක්ෂණාගාරයේ පිහිටි WIYN දුරේක්ෂය යන අති නවීන උපකරණ භාවිත කර තිබුණා.
GJ 3378b ග්‍රහලෝකය අනාගතයේ දී ජීවය සෙවීමේ පර්යේෂණ සඳහා ඉතා හොඳ අපේක්ෂකයෙකු ලෙස සැලකුණ ද, එහි සැබවින් ම වායුගෝලයක් පවතින්නේ ද යන්න නිශ්චිත ව ම තහවුරු කර ගැනීමට තාරකා විද්‍යාඥයින්ට තවත් කාලයක් බලා සිටීමට සිදුවනු ඇති. NASA ආයතනයේ සැලසුම්වලට අනුව ඒ සඳහා අත්‍යවශ්‍ය වන Habitable Worlds Observatory නිරීක්ෂණාගාරය අභ්‍යවකාශගත කිරීම 2040 දශකය දක්වා සිදු නො වන බැවින්, මෙම ග්‍රහලෝකයේ වායුගෝලීය තත්ත්වයන් පිළිබඳ ස්ථිර තොරතුරු අනාවරණය කර ගැනීමට තවත් දශක කිහිපයක් ගතවනු ඇති බවයි පැවසෙන්නේ.
from Vidusara Science Magazine https://ift.tt/m0oRAwP
via Magazine







Post a Comment