British Antarctic Survey හෙවත් බ්‍රිතාන්‍ය ඇන්ටාක්ටික් සමීක්ෂණ ආයතනයේ ලාච්චුවක වසර හතළිහකට ආසන්න කාලයක් තිස්සේ අමතක වී තිබූ ෆොසිලයක්, ඇන්ටාක්ටිකා මහාද්වීපයෙන් සොයාගත් ප්‍රථම ඩයිනසෝර අස්ථිය ලෙස විද්‍යාඥයින් විසින් මේ වනවිට තහවුරු කර තිබෙනවා. අලුත් ම පර්යේෂණ හරහා අනාවරණය වී ඇත්තේ මෙය පෘථිවිය මත ජීවත් වූ විශාලතම ඩයිනසෝර විශේෂයක් වන ‘ටයිටනොසෝර්’ (Titanosaur) ගණයට අයත් ඩයිනසෝරයෙකුගේ වලිගයේ අස්ථියක් බවයි.
මෙම අස්ථි කොටස මුලින් ම සොයාගනු ලැබ ඇත්තේ 1985 වසරේ දෙසැම්බර් මාසයේ දී ඇන්ටාක්ටිකාවේ ජේම්ස් රොස් දූපතේ සිදුකළ භූ විද්‍යාත්මක ගවේෂණයක දී භූ විද්‍යාඥ ආචාර්ය මයික් තොම්සන් විසින්. එකල ඔහු මෙය ‘විශාල උරගයෙකුගේ කශේරුකාවක්’ ලෙස තම සටහන් පොතේ දක්වා තිබූ අතර, එහි සැබෑ අනන්‍යතාව හඳුනාගැනීමට නො හැකි වීම නිසා දශක ගණනාවක් පුරා ලාච්චුවක සුරක්ෂිත ව තැන්පත් කර තිබුණා. පසුකාලීන ව, එම ආයතනයේ පාෂාණධාතු විද්‍යාඥ ආචාර්ය මාක් එවන්ස් විසින් මෙම ෆොසිලය යළි නිරීක්ෂණය කරන ලදු ව, ලන්ඩනයේ ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ මහාචාර්ය පෝල් බැරට් ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක් සමග එක්ව කළ අධ්‍යයන මඟින් මෙය ටයිටනොසෝරයෙකුගේ අස්ථියක් බව නිශ්චිත ව ම තහවුරු කෙරෙනවා.
ටයිටනොසෝරයන් යනු දිගු ගෙලක් සහ දිගු වලිගයක් සහිත, පාද හතරකින් ගමන් කළ, දැවැන්ත ශාක භක්ෂක ඩයිනසෝර විශේෂයක්. ඔවුන්ගෙන් සමහරක් ටොන් 60ක් පමණ බරින් යුක්ත වුණා. කෙසේ වෙතත්, මෙම හමු වූ අස්ථියට අදාළ ඩයිනසෝරයා සාපේක්ෂ ව කුඩා සත්ත්වයෙකු වන අතර, උගේ දිග මීටර් 6 ත් 7 ත් අතර වූ බව සැලකෙනවා. විද්‍යාඥයන් අනුමාන කරන්නේ මෙම සත්ත්වයා මියයන විට ළාබාල වයසේ පසුවන්නට ඇති බව හෝ මෙය කුඩා සිරුරක් සහිත වෙනත් ටයිටනොසෝර විශේෂයක් විය හැකි බවයි.
වසර මිලියන 82කට පමණ පෙර මෙම සත්ත්වයා ජීවත් වූ සමයේ ඇන්ටාක්ටිකාව අද මෙන් හිමෙන් වැසුණු ප්‍රදේශයක් නොව, ඝන වනාන්තරවලින් ගහන වූ උණුසුම් දේශගුණයක් සහිත කලාපයක් ව තිබුණා. ඌ මියයාමෙන් පසු සිරුර මුහුදට ගසාගෙන ගොස් සාගර පතුලේ තැන්පත් ව මෙලෙස සමුද්‍රීය පාෂාණයක් තුළ ෆොසිලකරණයට ලක්වන්නට ඇති බවට පර්යේෂකයන් විශ්වාස කරනවා.
ඇන්ටාක්ටිකාවෙන් ඩයිනසෝර ෆොසිල සොයාගැනීම අතිශයින් දුෂ්කර වන්නේ එම ප්‍රදේශය දැඩි අයිස් තට්ටුවකින් වැසී ඇති බැවිනුයි. Acta Palaeontologica Polonica ජර්නලයේ පසුගිය දා ප්‍රකාශයට පත් කෙරුණු මෙම සුවිශේෂ සොයාගැනීම මඟින් දකුණු අර්ධගෝලයේ මහාද්වීප හරහා ඩයිනසෝරයන් ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳව පැවති අභිරහස් රැසක් විසඳා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂිතයි. විශේෂයෙන් ම දකුණු ඇමෙරිකාවේ සිට ඇන්ටාක්ටිකාව හරහා නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි කලාප දක්වා ඔවුන් ගමන් කළ ආකාරය පිළිබඳ නව ඉඟියක් මින් සැපයෙනවා. දේශගුණික විපර්යාස හේතුවෙන් අනාගතයේ දී ඇන්ටාක්ටිකාවේ අයිස් තවදුරටත් දිය වී යාමත් සමඟ, මෙවැනි තවත් බොහෝ ඓතිහාසික රහස් ලොවට හෙළිවනු ඇතැ යි විද්‍යාඥයන් වැඩිදුරටත් අපේක්ෂා කරනවා.
from Vidusara Science Magazine https://ift.tt/eDX8Fk4
via Magazine






Post a Comment