NASA ආයතනය විසින් සඳ මත ඩොලර් බිලියන 20ක පිරිවැයකින් යුත් නැවතුම්පොළක් ඉදිකිරීමේ අභිලාෂකාමී සැලසුමක කොටසක් ලෙස, මේ වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත මිනිසුන් රහිත චන්ද්‍ර මෙහෙයුම් තුනෙන් පළමුවැන්න සඳහා Amazon නිර්මාතෘ ජෙෆ් බේසෝස්ගේ Blue Origin සමාගම නිල වශයෙන් තෝරාගෙන තිබෙනවා. ඊලොන් මස්ක්ගේ SpaceX සමාගම අභිබවා මෙම තීරණය ගෙන ඇති බව NASA ආයතනය පසුගිය දා නිවේදනය කළා.
වොෂින්ටන්හි පැවති මාධ්‍ය හමුවේ දී NASA ප්‍රධානී ජැරඩ් අයිසැක්මන් සඳහන් කළේ, 2026 වසරේ සැලසුම් කර ඇති මෙම මිනිසුන් රහිත මෙහෙයුම් තුනෙන් පසු ව ඉදිරි වසරවල දී පද්ධති සහ උපකරණ පරීක්ෂා කිරීම සඳහා තවත් මෙහෙයුම් දුසිමකට වඩා සිදුකිරීමට නියමිත බවයි. පසුගිය මාසයේ සාර්ථක ව නිම වූ Artemis II මෙහෙයුම මෙම සැලසුම් කඩිනම් කිරීමට විශාල දිරිගැන්වීමක් වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
Blue Origin සමාගම විසින් මෙහෙයවනු ලබන මෙම ප්‍රථම මෙහෙයුම Moon Base One ලෙස නම් කර තිබෙනවා. මේ සඳහා Blue Origin සමාගමේ Endurance නම් භාණ්ඩ ප්‍රවාහන යානය භාවිත කිරීමට නියමිත අතර, එය සඳෙහි දකුණු ධ්‍රැවයේ පිහිටි ෂැකල්ටන් ඩි ගර්ලැච් රිජ් (Shackleton de Gerlache Ridge) ප්‍රදේශයට ළඟා වීමට නියමිතයි. මෙම මෙහෙයුම සඳහා Blue Origin සමාගමට ඩොලර් මිලියන 230.4 ක මුදලක් ප්රදානය කර ඇති නමුත්, මෙහෙයුම සඳහා අවශ්‍ය බහුතර පිරිවැය එම සමාගම විසින්ම දරනු ලබනවා.
මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ මිනිසුන් සහිත ව දියත් වන ඉදිරි චන්ද්‍ර මෙහෙයුම්වල අවදානම අවම කිරීම සඳහා තීරණාත්මක තාක්ෂණික හැකියාවන් ප්‍රදර්ශනය කිරීමයි. NASA ආයතනයේ නවතම කාලරාමුවට අනුව, 2029 සහ 2032 අතර කාලය තුළ සඳ මත මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට අපේක්ෂා කෙරෙනවා. මෙය ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ජාතික අභ්‍යවකාශ ප්‍රතිපත්තියේ කොටසක් වන අතර, චීනයට ප්‍රථමයෙන් සඳ මත ස්ථිර ඇමරිකානු පදනමක් ඇති කිරීම සහ න්‍යෂ්ටික අභ්‍යවකාශ ප්‍රතික්‍රියාකාරකයක් සංවර්ධනය කිරීම මෙහි අරමුණයි.
පෞද්ගලික අංශය සමඟ පවතින මෙම හවුල්කාරිත්වය මඟින් බදු ගෙවන්නන්ගේ පිරිවැය සැලකිය යුතු ලෙස අඩු වන අතර නව රැකියා දහස් ගණනක් නිර්මාණය වන බව NASA ආයතනය විශ්වාස කරනවා. “අපි සඳ මතට යන්නේ ඒ සඳහා අප පුරෝගාමී කරගන්නා තාක්ෂණය, විද්‍යාව සහ අප ඉගෙන ගන්නා සියල්ල මඟින් පෘථිවියේ ජීවිතය යහපත් කිරීමටයි” යනුවෙන් අයිසැක්මන් මෙහි දී අවධාරණය කළා.
from Vidusara Science Magazine https://ift.tt/uQYd9cw
via Magazine







Post a Comment