NASA ආයතනය සිය මෙහෙයුම් සඳහා දැඩි ලෙස බලාපොරොත්තු සහගත ව සිටි Blue Origin සමාගමේ New Glenn රොකට්ටුව, ෆ්ලොරිඩාවේ කේප් කැනවෙරල් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී සිදු කළ පරීක්ෂණයක් අතරතුර දැවැන්ත ගිනි බෝලයක් මවමින් පිපිරී ගියා. මෙම අනතුර Blue Origin සමාගමට මෙන් ම NASA ආයතනයේ ඉදිරි සඳ ගමන් සැලසුම්වලට ද දැඩි බලපෑමක් එල්ල කළ හැකි පසුබෑමක් ලෙස සැලකෙනවා.
මෙම පිපිරීම සිදු ව තිබෙන්නේ ඊයේ (මැයි 28) රාත්‍රියේ දියත් කිරීමේ පීඨිකා අංක 36 (LC-36) හි දී යී. රොකට්ටුවේ සිව්වන පියාසර වාරයට පෙර එන්ජින් ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා සිදු කළ ‘හොට්ෆයර්’ (hotfire) පරීක්ෂණයක දී මෙම අනතුර සිදු වී තිබෙනවා. මෙම අනතුරින් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදු ව නොමැති බව Blue Origin සමාගම තහවුරු කළ ද, රොකට්ටුව දියත් කිරීමට භාවිතා කරන පීඨිකාව වන LC-36 වෙත මෙම දැඩි හානි සිදු ව ඇති බව වාර්තා වනවා.
අඩි 320ක් උසැති New Glenn රොකට්ටුව, NASA ආයතනයේ (Artemis) වැඩසටහනයටතේ ගගනගාමීන් සඳ මත ගොඩබැස්වීමට තෝරාගෙන ඇති ‘Blue Moon’ යානය රැගෙන යාමට නියමිත ප්‍රධාන රොකට්ටුවයි. 2028 වසරේ දී සඳ මතුපිට ගොඩබෑමට නියමිත රෝවර් යානා දෙකක් ද මෙම රොකට්ටුව මඟින් ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබුණා. මෙම පිපිරීම හේතුවෙන් එම මෙහෙයුම්වල කාලසටහනට බලපෑම් එල්ල විය හැකි බව අනුමාන කෙරෙනවා.
මෙතෙක් පියාසර වාර තුනක් පමණක් සම්පූර්ණ කර ඇති New Glenn රොකට්ටුව මීට පෙර ද විවිධ තාක්ෂණික ගැටලුවලට මුහුණ දී තිබුණි. පසුගිය අප්‍රේල් 19 වන දා සිදු කළ මෙහෙයුමක දී ද චන්ද්‍රිකාවක් නිසි කක්ෂයට මුදා හැරීමට එය අපොහොසත් වුණා.
අභ්‍යවකාශ ගමන් අතිශය දුෂ්කර සහ අවදානම් සහිත කාර්යයක් බවත්, මෙම සිදුවීම පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වා නැවත මෙහෙයුම් ආරම්භ කිරීමට සහාය දෙන බවත් NASA ප්‍රධානී ජැරඩ් අයිසැක්මන් ප්‍රකාශ කරනවා. මෙම අනතුර හේතුවෙන්, ජුනි 4 වන දා Amazon සමාගමේ චන්ද්‍රිකා 49ක් රැගෙන යාමට නියමිත ව තිබූ මෙහෙයුම ද දැන් අවිනිශ්චිත තත්ත්වයට පත් ව තිබෙන බව වාර්තා වනවා.
from Vidusara Science Magazine https://ift.tt/mlMJsqP
via Magazine







Post a Comment