Artemis II පෘථිවි කක්ෂයෙන් මිදී චන්ද්‍රයා වෙත යන සහ ආපසු එන ගමනේ එය හා සන්නිවේදනය පවත්වා ගැනීමට හැකි වන්නේ NASA ආයතනය සතු ගැඹුරු අභ්‍යවකාශ ජාලය හෙවත් Deep Space Network (DSN) මඟින්. මිහිපිට ඇති විශාලතම සහ සංවේදී ම විද්‍යාත්මක දුර සන්නිවේදන පද්ධතිය වන්නේ එයයි.
සරලව ම පැවසුවහොත් Deep Space Network හෙවත් DSN යනු අන්තර් ග්‍රහලෝක අභ්‍යවකාශ මෙහෙයුම් හා අඛණ්ඩ සන්නිවේදන සබඳතාවක් පවත්වාගත හැකි පරිදි ජාත්‍යන්තර වශයෙන් පිහිටුවා ඇති යෝධ ඇන්ටනා පද්ධතියක්. එසේ ම රේඩාර් සහ රේඩියෝ තරංග ඔස්සේ සිදු කෙරෙන තාරකා විද්‍යාත්මක නිරීක්ෂණ සඳහා ද ඉන් සේවය සැලසෙනවා.

DSN මෙහෙයවෙන්නේ NASA ආයතනයට අයත් ජෙට් ප්රචාලන විද්‍යාගාරය (Jet Propulsion Laboratory – JPL) මඟිනුයි. ලෝක ගෝලය ආවරණය වන පරිදි දළ වශයෙන් දේශාංශ අංශක 120ක ප්‍රාන්තර සහිත ව පිහිටි රේඩියෝ සන්නිවේදන මධ්‍යස්ථාන තුනක් ඊට අයත් වනවා. ඉන් එකක් ඇමරිකාවේ කැලිෆෝනියාවේ ගෝල්ඩ්ස්ටෝන්හි ද, දෙවැන්න ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්හි ද පිහිටුවා තිබෙන අතර, තෙවැන්න පිහිටා ඇත්තේ ඔස්ට්‍රේලියාවේ කැන්බරාවලයි. මේ ඇන්ටනා මධ්‍යස්ථාන තුන ලෝක ගෝලය ඉහළින් බැලූ විට, දළ වශයෙන් සමපාද ත්‍රිකෝණයක් මැවෙන පරිදි උපාය මාර්ගික ව ස්ථාපනය කර ඇත්තේ, පෘථිවියේ භ්‍රමණය සමඟ ගැඹුරු අභ්‍යවකාශයේ පවතින අභ්‍යවකාශ යානයක් සමඟ සන්නිවේදනය අඛණ්ඩ ව පවත්වාගත හැකි ලෙසයි. එනම්, පෘථිවිය භ්‍රමණය වන විට අවම වශයෙන් එක් මධ්‍යස්ථානයක් හෝ අදාළ යානය හා සන්නිවේදනය පවත්වාගත හැකි පිහිටුමකට එළැඹෙනවා.
Artemis II මෙහෙයුම දියත් වී, පෘථිවිය වටා කක්ෂයකට අවතීර්ණ වූ මොහොතේ එය හා සන්නිවේදනය පවත්වාගනු ලැබුණේ NASA සතු ආසන්න අභ්‍යවකාශ ජාලය හෙවත් Near Space Network (NSN) ඔස්සේයි. එහෙත් ට්රාන්ස්ලූනා ඉන්ජෙක්ෂන් දහනයෙන් (TLI) පසු Orion යානය පෘථිවි කක්ෂයෙන් නික්ම ගැඹුරු අභ්‍යවකාශයට ඇදී ගිය මොහොතේ පටන් මෙහෙයුම අවසානයේ යළි පෘථිවි කක්ෂය පසු කරන තුරු ම හූස්ටන් මෙහෙයුම් පාලන මධ්‍යස්ථානය සහ යානය අතර සන්නිවේදනය රඳා පවතින්නේ DSN හරහායි.
කෙසේ නමුත් යානය චන්ද්‍රයාගේ නොපෙනෙන පස වෙත සේන්දු වන විට DSN ඔස්සේ පවත්වාගන්නා සම්බන්ධතාවය මුළුමනින් ම බිඳවැටීමට නියමිතයි. චන්ද්‍රිකා සන්නිවේදනය රේඛීයව සිදුවන බැවින් චන්ද්‍රයා ඊට බාධකයක් ලෙස ක්‍රියා කිරීම ඊට හේතුවයි. තවත් සරල ව පැවසුවහොත් පෘථිවියත් යානයත් අතරට චන්ද්‍රයා පැමිණෙන බැවින් සන්නිවේදනය හරස් වීම මෙහි දී සිදුවනවා. චන්ද්‍රයාගේ නො පෙනෙන පැත්තේ සිට යළි පෘථිවිය පෙනෙන සීමාවට පැමිණි වහා ම නැවතත් සන්නිවේදනය ප්‍රතිෂ්ඨාපනය වනවා. මෙලෙස සන්නිවේදනය ඇණහිටීමෙන් පසු ප්‍රතිෂ්ඨාපනය වීමට විනාඩි 41ක කාලයක් ගත වන අතර, එම කාලය තුළ යානයේ ගගනගාමීන්ට කතාබස් කිරීමට සිටින්නේ ඔවුනොවුන් ම පමණයි.
Apollo මෙහෙයුම්වල දීත් මේ සන්නිවේදන අවහිරය මෙලෙසින් ම සිදු වුණා. එය මඟහරවාගත හැකි වනු ඇත්තේ චන්ද්‍රයා වටා සංඥා පිළියවන සන්නිවේදන චන්ද්‍රිකා බහුල අනාගතයකයි.
from Vidusara Science Magazine https://ift.tt/ektm0lA
via Magazine







Post a Comment