ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) විසින් නිකුත් කරන ලද 2025 වසරේ ගෝලීය දේශගුණික තත්ත්වය පිළිබඳ වාර්තාවට අනුව, පෘථිවියේ දේශගුණික පද්ධතියේ තුලිතතාවය ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා දැවැන්ත ලෙස බිඳ වැටී තිබෙනවා. හරිතාගාර වායු සාන්ද්‍රණය අඛණ්ඩ ව ඉහළ යාම හේතුවෙන් වායුගෝලය සහ සාගර උණුසුම් වීම මෙන් ම අයිස් තට්ටු දියවීම ද වේගවත් වී ඇති බව 2026 මාර්තු 23 වන දින ජිනීවා නුවර දී නිකුත් වූ මෙම වාර්තාව පෙන්වා දෙනවා. මෙම වේගවත් විපර්යාසයන් දශක කිහිපයක් තුළ සිදු වුව ද, ඒවායේ අහිතකර ප්‍රතිවිපාක ඉදිරි වසර සිය ගණනක් හෝ දහස් ගණනක් පුරා පවතිනු ඇතැ යි විද්‍යාඥයෝ අනතුරු අඟවනවා.
වාර්තාව තහවුරු කරන පරිදි 2015 සිට 2025 දක්වා කාලය ලොව මෙතෙක් වාර්තා වූ උණුසුම් ම වසර 11 ලෙස වාර්තා අතරට එක් වනවා. විශේෂයෙන් ම 2025 වසර ඉතිහාසයේ දෙවන හෝ තෙවන උණුසුම්ම වසර වූ අතර, එය පූර්ව කාර්මික යුගයට වඩා සෙල්සියස් අංශක 1.43 ක පමණ ඉහළ උෂ්ණත්වයක් පෙන්නුම් කර තිබෙනවා. පෘථිවියේ ශක්ති තුලිතතාවය මැන බැලීමේ දී, සූර්යයාගෙන් ලැබෙන ශක්තියට වඩා රඳවා ගන්නා ශක්තිය ඉහළ යාම නිසා ඇතිවන ‘ශක්ති අසමතුලිතතාවය’ 2025 දී ඉහළ ම මට්ටමකට පැමිණ තිබෙන බව නිරීක්ෂණය වනවා. කාබන් ඩයොක්සයිඩ් මට්ටම වසර මිලියන දෙකකට පසු ඉහළ ම අගය වාර්තා කර ඇති අතර, මෙතේන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් වායු සාන්ද්‍රණය ද වසර ලක්ෂ ගණනකට පසු ඉහළ ම මට්ටමට පැමිණ තිබෙනවා.
මෙම අතිරික්ත තාපයෙන් 91%කට වඩා වැඩි ප්‍රමාණයක් සාගර විසින් අවශෝෂණය කර ගන්නා අතර, පසුගිය වසර නවය පුරා ම සාගරයේ තාප අන්තර්ගතය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. සාගර උණුසුම් වීම සහ අයිස් තට්ටු දියවීම හේතුවෙන් ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාම වේගවත් වී ඇති අතර, ආක්ටික් සහ ඇන්ටාක්ටික් ප්‍රදේශවල මුහුදු අයිස් ප්‍රමාණය අවම මට්ටම් කරා ළඟා වී ඇති බව වාර්තාව පෙන්වා දෙනවා. මෙම තත්ත්වය මඟින් ඇති වූ දරුණු උෂ්ණත්ව තරංග, ලැව්ගිනි, නියඟය සහ කුණාටු හේතුවෙන් 2025 වසරේ දී දහස් ගණනක් මිය ගිය අතර, බිලියන ගණනක ආර්ථික හානි ගෙනදුන්නා.
එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අවධාරණය කරන්නේ පෘථිවිය දැන් හදිසි අවස්ථාවක පවතින බවයි. ආහාර අනාරක්ෂිතභාවය, ජනතාව අවතැන් වීම සහ ඩෙංගු වැනි රෝග ව්‍යාප්තිය දේශගුණික විපර්යාස සමඟ බැඳී ඇති බවත්, පොසිල ඉන්ධන මත යැපීම නතර කරීමට වහා ම පියවර නො ගතහොත් මෙම ‘දේශගුණික අවුල් සහගත තත්ත්වය’ තවදුරටත් දරුණු වනු ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.
from Vidusara Science Magazine https://ift.tt/ftyPCbH
via Magazine







Post a Comment