අඩසියවසකට වැඩි කාලයකට පසු මිනිසා යළි චන්ද්‍රයා වෙත සමීප කරන Artemis II මෙහෙයුම දියත් කිරීම සඳහා අවරෝහණ ගණනය මේ වන විට ඇරඹී තිබෙනවා. ඒ අනුව ඊයේ නැගෙනහිර වේලාවෙන් පස්වරු 4.44ට දින දෙකක අවරෝහණ ගණනය නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර, හෙට (අප්‍රේල් 01) නැගෙනහිර වේලාවෙන් පස්වරු පස්වරු 6.24ට (ශ්‍රී ලංකාවේ වේලාවෙන් පසු දා අලුයම) මෙහෙයුම දියත් කිරීම සඳහා උචිත පැය දෙකක කාල කවුළුව විවෘත වීමට නියමිතයි.
Space Launch System රොකට්ටුවේ, Orion යානයේ හෝ භූගත පද්ධතිවල කිසිදු ප්‍රධාන ගැටලුවක් නොමැති බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව, මෙහෙයුම් කළමනාකරුවන් ඊයේ උදෑසන හමු වී සැලසුම්ගත දියත් කිරීමට පැය 49 කුත් මිනිත්තු 40 කට පෙර අවරෝහණ ගණනය ආරම්භ කිරීමට අනුමැතිය ලබා දී තිබෙනවා.
NASA ආයතනයේ Artemis මෙහෙයුමේ දියත් කිරීමේ කටයුතු භාර අධ්යක්ෂ චාලී බ්ලැක්වෙල්-තොම්සන් සඳහන් කරන්නේ තත්ත්වය අතිශය සුබදායී බවයි.
NASA බලධාරීන් තහවුරු කළේ දියත් කිරීම අවස්ථා දෙකක දී කල් දැමීමට බලපෑ SLS රොකට්ටුවේ හීලියම් වහන පද්ධතියේ ගැටලු නිරාකරණය කිරීමෙන් අනතුරුව, ඉකුත් මාර්තු 20 දා නැවතත් දියත් කිරීමේ පීඨිකාව වෙත රැගෙන ආ පසු මේ දක්වා කිසිදු අවදානම් සහගත ගැටලුවක් නිරීක්ෂණය නොවූ බවයි.
බ්ලැක්වෙල්-තොම්සන් පැවසුවේ, අතිරික්ත හයිඩ්රජන් දහනය කිරීම සඳහා අංගනයේ භාවිත කරන දැල්වුම් කුළුණක ඇති අමතර විදුලි පහන් තුනෙන් එකක් අලුත්වැඩියා කිරීම මෙන් ම දියත් කිරීමේ පාලන මධ්‍යස්ථානයේ ඇති අමතර පාලන පුවරුවක දෝෂ සහිත තිර මාරු කිරීම වැනි සුළු ගැටලු කිහිපයක් පමණක් වාර්තා වී ඇති බවයි.
“ඉදිරි දින කිහිපය තුළ දී අප කතා කරන්නේ මෙවැනි දේවල් ගැන නම්, ඒවා සතුටින් භාරගත හැකි සුළු ගැටලු වෙනවා,” යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළා.
ඔවුන්ගේ පාලනයෙන් තොර වන එක ම ගැටලුව වන්නේ කාලගුණයයි. අභ්‍යවකාශ බලකායේ (Space Force) 45 වැනි කාලගුණ බලඝණයේ කාලගුණ අනාවැකියකට අනුව, හරස් විය හැකි එක ම බාධාව කැටි වලාකුළු (cumulus clouds) වුවද, අප්‍රේල් 1 වන දින දියත් කිරීම සඳහා යහපත් කාලගුණයක් පැවතීමට ඇති ඉඩකඩ තවදුරටත් 80% ක් ලෙස පුරෝකථනය කර තිබෙනවා.
“අපට පැය දෙකක දියත් කිරීමේ කාල කවුළුවක් තිබෙනවා. එය ඉතා අපූරු දෙයක්,” යැයි තොම්ප්සන් පැවසුවේ, කාල රාමුව ආරම්භ වන අවස්ථාවේ දී කාලගුණික තත්ත්වයන් යෝග්‍ය නොවේ නම් ඒවා වෙනස් වීමට ප්‍රමාණවත් කාලයක් ලබා දිය හැකි බව ද පෙන්වා දෙමින්. “පැය දෙකක කාල කවුළුවක් තිබියදී සහ දියත් කිරීමට 80% ක සම්භාවිතාවක් තිබෙන බව දකින විට, අපගේ සාර්ථකත්වය ගැන මට ඉතා හොඳ හැඟීමක් ඇති වෙනවා.” ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.
අවරෝහණ ගණනයේ මූලික අදියරවල දී, පාලකවරුන් විසින් SLS සහ Orion බලගැන්වීම සහ පද්ධති පරීක්ෂා කිරීම සිදුවනවා. දියත් කිරීමට ආසන්න වශයෙන් පැය 10 කට පමණ පෙර, SLS රොකට්ටුවට ඉන්ධන පිරවීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අවස්ථාව මෙහෙයුමේ ප්‍රධාන සංධිස්ථානයක් වනු ඇති.
පෙර සිදු කරන ලද ඉන්ධන පරීක්ෂා කිහිපයක දී දක්නට ලැබුණු කාන්දුවීම් හේතුවෙන් ඉන්ධන පිරවීම සම්බන්ධයෙන් “ජනතාව කනස්සල්ලෙන් පසුවන බව මම දන්නවා,” යැයි Artemis II මෙහෙයුම් කළමනාකරණ කණ්ඩායමේ සභාපති ජෝන් හනික්ට් පවසනවා. කෙසේ වෙතත්, පෙබරවාරි මාසයේ පැවති දෙවන තෙත් ඉන්ධන පරීක්ෂාවෙන් (wet dress rehearsal) පසු ව ක්‍රියාකාරීත්වය තහවුරු කරන ලද, අලුතින් යොදන ලද ද්‍රව හයිඩ්රජන් මුද්‍රා හේතුවෙන් සැලකිය යුතු කාන්දු වීම් කිසිවක් සිදු නො වන බවට තමාට දැඩි විශ්වාසයක් ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා.
මෙම ඓතිහාසික මෙහෙයුම සඳහා ඇමරිකානු ගගනගාමීන් වන රෙයිඩ් වයිස්මාන්, වික්ටර් ග්ලෝවර් සහ ක්‍රිස්ටිනා කොච් සමඟින් කැනේඩියානු ගගනගාමී ජෙරමි හැන්සන් එක් වනවා. ඔවුන් NASAහි SLS රොකට්ටුව සහ Orion අභ්‍යවකාශ යානයේ නැඟී ගමන් කරන පළමු මිනිසුන් වනු ඇති අතර, දින 10ක කාලයක් පුරා දිවෙන මෙම මෙහෙයුමේ දී පෘථිවියට කිසි දා නො පෙනෙන සඳෙහි අනෙක් පස වටා ගමන් කර යළි පෘථිවියට පැමිණීමට නියමිතයි.
from Vidusara Science Magazine https://ift.tt/GTrW3m2
via Magazine





Post a Comment