බ්‍රිටිෂ් කොලොම්බියාවේ මධ්‍යම වෙරළ තීරය ආශ්‍රිත ව වෙසෙන වෘක දේනුවක්, මුහුදේ ගිල්වා තිබූ කකුළු උගලක් ගොඩට ඇද එහි ඇම ආහාරයට ගන්නා අවස්ථාවක් පටිගත කර ගැනීමට හැකි වී තිබෙනවා. සත්ත්ව හැසිරීම් පිළිබඳ විශේෂඥයන් පවසන පරිදි වෘකයෙකු යම්කිසි මෙවලමක් උපයෝගී කරගත් බවට වාර්තාගත පළමු අවස්ථාව මෙයයි.
බ්‍රිටිෂ් කොලොම්බියාවේ ස්වදේශීය ජනවර්ගයක් වන Heiltsuk විසින් මේ කකුළු උගුල් අටවා තිබුණේ ඔවුන්ගේ පරිසර භාරකාරිත්ව වැඩසටහනක එක් අංගයක් ලෙසයි. එරට පරිසර පද්ධති විනාශ කරමින් සිටින ආක්‍රමණශීලී ජීවී විශේෂයක් වන ‘යුරෝපීය හරිත කකුළුවන්ගේ’ (European green crab) ව්‍යාප්තියට එරෙහි ව සටන් කිරීම මෙම වැඩසටහනේ එක් ප්‍රධාන අරමුණක් වුණා.
”උගුල්වලට හානි සිදුවීමට පටන් ගෙන තිබූ අතර, එම හානිය දෙස බලන විට එය වලසෙකු හෝ වෘකයෙකු විසින් සිදු කළ එකක් මෙන් දිස්වුණා” යනුවෙන් නිව් යෝර්ක් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ පාරිසරික විද්‍යා සහ වන විද්‍යා විද්‍යාලයේ සහකාර මහාචාර්යවරයෙකු මෙන් ම මෙම සොයාගැනීම පිළිබඳ නව අධ්‍යයනයේ සමකර්තෘවරයෙකු වන කයිල් ආටෙල් සඳහන් කර තිබුණා.
”නො ගැඹුරු ජලයේ තිබූ උගුල් සම්බන්ධයෙන් නම් එය එසේ බව ඒත්තුගැන්විය හැකියි. ඒ වලසෙකුට හෝ වෘකයෙකුට පහසුවෙන් ඒවා වෙත ඇවිදගෙන යා හැකි බැවින්. නමුත් සමහර උගුල් තිබුණේ ඉතා ගැඹුරු ජලයේ වන අතර, වඩදිය බැස ගිය (ජලය ඉතාම අඩු) අවස්ථාවක දී වත් ඒවා ජලයෙන් ඉහළට මතු වී තිබුණේ නැහැ. වලසුන් හෝ වෘකයන් දිය යට කිමිදෙන්නේ නැති නිසා, මෙය ඔවුන්ගෙන් සිදු විය නො හැකි බවට උපකල්පනය කෙරුණා. එසේ නම්, එය කළේ කවුරු විය හැකි ද?”
එය සොයා ගැනීම සඳහා පර්යේෂකයින් විසින් චලන සංවේදී කැමරා සවිකරනු ලැබුණේ, දිය බල්ලෙකු හෝ සීල් මත්ස්‍යයෙකු එහි සිටිනු ඇතැ යි යන අනුමානයෙන්. නමුත් ඒ වෙනුවට, එක් කැමරාවක සටහන් ව තිබුණේ වෘකයෙකු මුවින් බෝයාවක් ඩැහැගෙන වෙරළට පිහිනා විත් එය වැලි මත අතහරින ආකාරයයි. ඉන්පසු ව බෝයාවට සම්බන්ධ කර තිබූ ලණුව ඩැහැගත් එම ඌ, උගුල ජලයෙන් මතු වන තෙක් එය ඇදගෙන යන අයුරු එහි දැක්වී තිබුණා. උගුල නො ගැඹුරු තැනකට පැමිණෙන තෙක් එය වෙරළ දෙසට ඇදගෙන ගිය ඌ, පසු ව ඇමක් ලෙස යොදා තිබූ හුරුලු මාළු කැබැල්ල සහිත කුඩා බහාලුම කඩා විවෘත කරගත්තා.
”අපි මවිතයට පත් වුණා. මෙය අප බලාපොරොත්තු වූ දෙයක් නොවෙයි,” යැයි ආටෙල් සඳහන් කරනවා. “වෘකයන් ආශ්‍රිත ව කාලය ගත කිරීමට තරම් වාසනාවන්ත වූ අය, එම සතුන් අතිශය බුද්ධිමත් බව දන්නවා. එනිසා ඔවුන් මෙවැනි ඉතා බුද්ධිමත් දේවල් කිරීමට සමත් වීම පුදුමයට කරුණක් නොවෙයි. නමුත් මෙවැනි හැසිරීමක් මීට පෙර වාර්තා වී තිබුණේ නෑ.”
මෙම හැසිරීම කොපමණ වෘකයන් සංඛ්‍යාවක් ඉගෙන ගෙන ඇත් දැ යි පර්යේෂකයන් දන්නේ නැහැ. නමුත් ඉන්පසු ඔවුන් වෙනත් වෘකයෙකු සහ උගුලක් අතර සිදු වූ තවත් අන්තර්ක්‍රියාවක් රූගත කිරීමට සමත් ව තිබුණා. කෙසේ වෙතත්, සම්පූර්ණයෙන් ම ජලයේ ගිලී තිබූ බහාලුම මෙම වෘකයා විසින් ඉවත් කරගනු ලැබුවා ද යන්න එම පටිගත කිරීමෙන් පැහැදිලි වී තිබුණේ නැහැ.
ආටෙල් පවසන පරිදි, වෘකයාට මෙම හැසිරීම පළ කිරීමේ හැකියාව, හෙයිල්ට්සුක් ප්‍රදේශයේ පවතින තත්ත්වයන්ගේ බලපෑම නිසා ඇති වූවක් විය හැකි අතර, එය වෘකයන් දැඩි ලෙස දඩයම් කිරීම සිදු නො වන ලෝකයේ ප්‍රදේශ කිහිපයෙන් එකක් වීම ද විශේෂත්වයක්.
සෞන්දර්ය සෙනරත්
from Vidusara Science Magazine https://ift.tt/tAxE58c
via Magazine







Post a Comment