3I/ATLAS ලෙස හඳුන්වන දුර්ලභ ධූමකේතුවක් අප සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කිරීම පිළිබඳව NASA ආයතනය විසින් මේ වන විටත් අධ්‍යයනය කරමින් සිටී. මෙය අප සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත සිට පැමිණි බවට තහවුරු කරන ලද තුන්වන වස්තුව වීම විශේෂත්වයකි. තාරකා විද්‍යාඥයන් මෙය අන්තර් තාරකා වස්තුවක් ලෙස හඳුන්වන්නේ එහි කක්ෂය ‘හයිපර්බෝලීය’ වන බැවිනි. එනම් එය සූර්යයා වටා සංවෘත මාර්ගයක ගමන් නොකරයි.
NASA ආයතනය පවසන්නේ මෙම ධූමකේතුව පෘථිවියට කිසිදු තර්ජනයක් එල්ල නොකරන බවත්, එය අපේ ග්‍රහලෝකයට නක්ෂත්‍ර ඒ්කක 1.8 කට වඩා (කිලෝමීටර මිලියන 270 ක් පමණ) ආසන්න නොවන බවත්ය.
මාධ්‍ය වාර්තා අනුව, ජූලි 1 වන දින සොයා ගන්නා ලද මෙම ධූමකේතුව ඔක්තෝබර් 29 වන දින පෘථිවියට ආසන්නතම ලෙස ගමන් කිරීමට නියමිතය. හෙට දින (ඔක්තෝබර් 30) එය සූර්යයාට ආසන්නතම ස්ථානයට පැමිණෙනු ඇත. මෙම දුර නක්ෂත්‍ර ඒ්කක 1.4 ක් (කිලෝමීටර මිලියන 210 ක්) පමණ වන අතර එය අඟහරු ග්‍රහයාගේ කක්ෂය ඇතුළත පිහිටයි. NASA ට අනුව, 3I/ATLAS ධූමකේතුව වෙනත් තාරකා පද්ධතියක නිර්මාණය වී ඇති අතර, එය අප සෞරග්‍රහ මණ්ඩලයට පැමිණීමට පෙර වසර මිලියන ගණනක් හෝ බිලියන ගණනක් පුරා තාරකා අතර අවකාශයේ පාවෙමින් පැවතුණි. එය ක්ෂීරපථයේ කේන්ද්‍රය ආසන්නයේ පිහිටි සැජිටේරියස් තාරකා මණ්ඩලයේ දිශාවෙන් පැමිණෙමින් තිබේ.
මෙම ධූමකේතුවට 3I/ATLAS යන නම ලැබී ඇත්තේ එය සොයා ගත් ATLAS සමීක්ෂණ පද්ධතියට අනුව වන අතර, නමේ ඇති “I” අකුරින් එය අන්තර් තාරකා සම්භවයක් ඇති බවත්, “3” අංකයෙන් එය තුන්වන අන්තර් තාරකා වස්තුව බවත් පෙන්වයි. තාරකා විද්‍යාඥයින් ලොව පුරා මෙම වස්තුවේ ප්‍රමාණය හා ගුණාංග අධ්‍යයනය කරමින් සිටී. NASA පවසන පරිදි, පවතින නිරීක්ෂණ මඟින් ධූමකේතුවේ න්‍යෂ්ටිය කිලෝමීටර 5.6 කට වඩා විශාල නොවන බව පෙන්වා දෙයි.අයිස් සහිත න්‍යෂ්ටියකින් යුත් සක්‍රීය ධූමකේතුවක් වන මෙය, සූර්යයාට ළං වන විට වායු සහ දූවිලි වලාකුළක් වන ‘කොමා’ නමින් හැඳින්වෙන වලිගයක් නිර්මාණය කරයි. එය සොයා ගන්නා විට 3I/ATLAS පැයට කිලෝමීටර 221,000 ක පමණ වේගයකින් ගමන් කරමින් තිබූ අතර, සූර්යයාට ළං වන විට එහි වේගය තවදුරටත් වැඩි වනු ඇත.
සහශ්‍රිකා දෙව්මිණි
from Vidusara Science Magazine https://ift.tt/9uMBgwL
via Magazine





Post a Comment