ආන්තික ජීවීන් (Extremophiles) යනු තාරකා ජීව විද්‍යාඥයින්ගේ ප්‍රියතම විෂයයක්. මෙම ජීවීන් ජීවය දරා සිටිය හැකි ආන්තික පරිසර තත්ත්ව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට පමණක් නොව, ඇතැම් විට එම ආන්තික පරිසරවල අනෙකුත් ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන්, නිපදවන මෙවලම් ලෙස ද ඉතා ප්‍රයෝජනවත් වනවා.
රෝමයේ ටෝර් වර්ගාටා විශ්වවිද්‍යාලයේ ඩැනියෙලා බිලී විසින් Acta Astronautica හි පූර්ව-මුද්‍රණ ආකාරයෙන් ප්‍රකාශිත පත්රිතාවක, එක් ආන්තික ජීවියෙකු ප්‍රයෝජනවත් පරීක්ෂණ වස්තුවක් සහ ප්‍රයෝජනවත් මෙවලමක් ලෙස ක්‍රියා කරන ආකාරය සමාලෝචනය කර තිබෙනවා.
ඩැනියෙලාගේ අවධානයට ලක් ව ඇති එම ආන්තික ජීවියා Chroococcidiopsis නම් සයනොබැක්ටීරියාවක්. එම සයනොබැක්ටීරියාව දැකිය හැකි වන්නේ කාන්තාරවලයි. ආසියාව, උතුරු ඇමරිකාව සහ ඇන්ටාක්ටිකාව ඇතුළු (හිම වැටුණත් ඇන්ටාක්ටිකාව ද සත්‍ය වශයෙන් ම කාන්තාරයකි) ප්‍රදේශවලින් මේ සයනොබැක්ටීරියා සාම්පල හමු වී තිබෙනවා. මේ ජීවීන් හට රළු පරිසර තත්ත්වයන් දරාගත හැකි බැවින් වෙනත් ග්‍රහලෝක මත ද එයට පැවතිය හැකි ද යන්න සොයා බැලීම සඳහා විවිධ පර්යේෂණ ක්‍රියාත්මක වී තිබෙනවා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ BIOlogy and Mars EXperiment (BIOMEX) සහ Biofilm Organisms Surfing Space (BOSS) යන පරීක්ෂණ ද්විත්වය ඊට උදාහරණයි.
BIOMEX පරීක්ෂණයෙන් පසු Chroo නැවත පෘථිවියට ගෙන එන විට ඒවාට නැවත ජලය ලබාදීම සිදුකෙරුණා. විද්‍යාඥයින් නිරීක්ෂණය කළේ, ඒවා සතු DNA අලුත්වැඩියා යාන්ත්‍රණයන් හේතුවෙන් ඒවාට සිදු වූ DNA හානි පූර්ණය කරගැනීමට ඒවාට හැකි වූ බවයි. වඩාත් සිත්ගන්නාසුලු කරුණ වූයේ, පෘථිවියේ රැඳී සිටි ප්රභේදයන්ට සාපේක්ෂ ව, අභ්‍යවකාශයේ සිට රැගෙන ආ සාම්පලයේ ඉදිරි පරම්පරාවල විකෘති (mutations) වැඩි වීමක් නොපෙන්වීමයි.
වෙනත් වචනවලින් කිවහොත්, Chroococcidiopsis හි DNA අලුත්වැඩියා යාන්ත්‍රණයන් අතිශය ඵලදායී වූ අතර, ඒවාට කිසිදු ආරක්ෂාවකින් තොර ව අභ්‍යවකාශ විකිරණවලට වසර එකහමාරක කාලයක් නිරාවරණය වීමෙන් පසුවත්, කිසිදු හානියකින් තොර ව යථා තත්ත්වයට පත්වීමට හැකියාව ලැබී තිබුණා.
Chroococcidiopsis ට ඊටත් වඩා බොහෝ දේ කළ හැකි බව සොයාගෙන තිබෙනවා. එය චන්ද්‍ර හා අඟහරු පසෙහි ජීවත් විය හැකි අතර, එම පස පදනම් කරගනිමින් සහ ප්‍රභාසංශ්ලේෂණය භාවිතයෙන් පමණක් ඔක්සිජන් නිපදවීමට හැකියි. අඟහරු පසෙහි ඇති ඉහළ පර්ක්ලෝරේට් (perchlorates) මට්ටම්, බොහෝ පෘථිවි-පාදක ජීව ආකාරවලට අභියෝගාත්මක වුවත්, මෙම සයනොබැක්ටීරියාවන්ට එම මට්ටම් ඉවසා සිටිය හැකි වීම මවිතය දනවනසුලුයි. එය පර්ක්ලෝරේට් මට්ටම නිසා සිදුවන හානියට ඔරොත්තු දිය හැකි පරිදි DNA අලුත්වැඩියා කරගැනීම සිදු කරගත හැකි වීම ඊට හේතුවයි.
නිම්නා අමරසේකර
from Vidusara Science Magazine https://ift.tt/NgSzeZW
via Magazine







Post a Comment