අප්‍රිකානු මහාද්වීපය නිජබිම කරගත්, එහි ආවේණික ජිරාෆ් සතුන් විශේෂ හතරක් සිටින බව නවතම විද්‍යාත්මක විශ්ලේෂණයකින් අනාවරණය වී තිබෙනවා. පර්යේෂකයන් විසින් මින් පෙර අප්‍රිකාව පුරා විසිරී සිටින ජිරාෆ් සතුන් එක් විශේෂයකට අයත් බවට සලකනු ලැබුවා.
නව දත්ත සහ ජානමය අධ්‍යයනයන්ගෙන් හෙළිකරගත් තොරතුරු මත පදනම් ව International Union for Conservation of Nature (IUCN)හි පර්යේෂකයන් කණ්ඩායමක් මෙසේ මිහිමත වෙසෙන උසැති ම ක්ෂීරපායී සත්ත්වයා විශේෂ හතරකට බෙදා වෙන්කර තිබෙනවා. එනම් Northern giraffe (Giraffa camelopardalis), reticulated giraffe (Giraffa reticulata), Masai giraffe (Giraffa tippelskirchi) සහ Southern giraffe (Giraffa giraffa) යනුවෙන්.

පසුගිය දශකය තුළ සිදු කළ ප්‍රධාන අධ්‍යයනවලින් එම විශේෂ හතර අතර සැලකිය යුතු වෙනස්කම් පවතින බව හෙළි වූවා යැයි එම තක්සේරුව මෙහෙයවූ IUCN හි මයිකල් බ්‍රවුන් පවසනවා. එක් එක් විශේෂයට විවිධ වන ගහන ප්‍රමාණ, තර්ජන සහ සංරක්ෂණ අවශ්‍යතා ඇති බැවින් මේ වර්ගීකරණය අත්‍යාවශ්‍ය බව ඔහු පෙන්වා දෙනවා. “ඔබ ජිරාෆ්ලා සියලු දෙනා එකට එකතු කළ විට, ඒ කතාව බිඳ වැටෙනවා.” ඔහු පවසනවා.
කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජය, දකුණු සුඩානය සහ මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ව්‍යාප්ත වී සිටින උතුරු ජිරාෆ් සතුන් (Northern giraffe) දේශපාලන අස්ථාවරත්වය සහ දඩයම් කිරීමට ලක් වීම සිදුවනවා. ඒ අතර කෙන්යාවේ සහ ටැන්සානියාවේ වෙසෙන මසායි ජිරාෆ් විවෘත සවානා, ගව තණබිම් සහ කුඹුරු බවට පරිවර්තනය වීම නිසා වාසස්ථාන අහිමි වීමේ බලපෑමට ලක් ව සිටිනවා.
මේ විශ්ලේෂණය සඳහා සහභාගී නොවූ ඩියුක් විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යාඥ ස්ටුවර්ට් පිම් මෙය අතිශය නිවැරැදි තීරණයක් බවත්, එය බොහෝ කලකට පෙර සිදු වන්නට තිබූ වර්ගීකරණයක් බවත් සඳහන් කරනවා. අතීතයේ දී පර්යේෂකයන් ජිරාෆ්ලාගේ ලප සහ චර්ම රටා පිළිබඳව සූක්ෂ්ම ව අධ්‍යයනය කළ ද, නව කාණ්ඩකරණය සඳහා ජානමය දත්තවල පුළුල් විශ්ලේෂණය සහ හිස්කබලේ හැඩය වැනි ප්‍රධාන ව්‍යුහ විද්‍යාත්මක වෙනස්කම් ඉස්මතු කරන අධ්‍යයන ඇතුළු නව්‍ය ක්‍රම භාවිතා කර තිබුණා.
නිම්නා අමරසේකර
from Vidusara Science Magazine https://ift.tt/uIvMJSm
via Magazine





Post a Comment