ආලෝක වර්ෂ 124ක් ඈතින් පිහිටි රතු වාමන තාරකාවක් වටා යන K2-18 b යන ග්‍රහයා පසුගිය මාස කිහිපය තුළ පුවත් මවන්නෙක් බවට පත් වුණේ ජීවයක සලකුණු පෙනෙන සාධක ඉන් හමු වූ බවට තොරතුරු වාර්තා වීමත් සමඟයි. ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය මඟින් ලබාගත් දත්ත මත පදනම් ව කේම්බ්‍රිජ් විශ්විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් ඉන් ඩයිමෙතිල් සල්ෆයිඩ් (DMS) සහ ඩයිමෙතිල් ඩයිසල්ෆයිඩ් (DMDS) සොයාගැනීමට සමත් වූ බව වාර්තා වුණා. පෘථිවියේ මේ අණු නිපදවන බවට නම්දරා තිබෙනුයේ ජීවීන් විසින් පමණයි. එනිසා එය පිටසක්වළ ජීවයක් සහිත ලොවකට උදාහරණයක් විය හැකි බව ප්‍රකාශ වුණා. කෙසේ නමුත් මෙම සොයාගැනීමෙන් සුළු කලකට පසු එම දත්ත ම පදනම් කරගනිමින් සිදු කරන ලද තවත් විශ්ලේෂණයකින් අනාවරණය වී තිබුණේ එම විශ්ලේෂණයේ ප්‍රතිඵල ඉහත ප්‍රකාශයන්ට අනුගත නො වන බවයි.
මූලික නිරීක්ෂණ මඟින් K2-18 b ලෙස හඳුන්වන ග්‍රහලෝකයේ වායුගෝලීය සංයුතිය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනුණා. එහි හයිඩ්‍රජන් පොහොසත් වායුගෝලයක් ඇති බවත්, එහි මීතේන් සහ සමහර විට කාබන් ඩයොක්සයිඩ් අඩංගු බවත් සොයාගැනුණා. ඇමෝනියා සහ ජල වාෂ්ප පවතින බවට සීමිත සාක්ෂි තිබුණත්, වඩාත් පැහැදිලි චිත්‍රයක් ලබා ගැනීමට තවත් නිරීක්ෂණ අවශ්‍ය වුණා. DMS සහ DMDS අණු පිළිබඳ විවාදයට සම්බන්ධ විද්‍යාඥයින්, ඉදිරි දත්තවල මෙම අණුවලට අදාළ සලකුණු තිබේදැයි යන්න පැහැදිලි කිරීමට උනන්දු වුණා.
දැන්, විද්‍යාඥයින් කිහිපදෙනෙක් එක්ව වෙබ් දුරේක්ෂය මඟින් සිදු කරන ලද නවතම අධෝරක්ත නිරීක්ෂණ හතරක දත්ත විශ්ලේෂණය කර, ඒවා පෙර සිදු කරන ලද හබල් දුරේක්ෂයේ දත්ත සමඟ ඒකාබද්ධ කර ඇත. ඔවුන්ගේ පර්යේෂණය මෑතක දී arXiv preprint හි පළ කරනු ලැබුණා. නව ප්‍රතිඵලවලින් DMS හෝ DMDS සලකුණු සඳහා කිසිදු සාක්ෂියක් හමු නොවූ නමුත්, ග්‍රහලෝකයේ ව්‍යුහය පිළිබඳ වඩාත් ස්ථිර චිත්‍රයක් නිර්මාණය කිරීමට ඒවා උපකාරී වුණා.
මෙම අධ්‍යයනයෙන් ලැබුණු වඩාත් ම වැදගත් ප්‍රතිඵලය වන්නේ K2-18 b යනු ජලයෙන් පොහොසත් ග්‍රහලෝකයක් බවට තහවුරු වීමයි. කණ්ඩායම K2-18 b හි වායුගෝලයේ මීතේන් සහ කාබන් ඩයොක්සයිඩ් පිළිබඳ ප්‍රබල මට්ටමේ හඳුනාගැනීමක් සිදු වූ නමුත්, ජල වාෂ්ප පිළිබඳ කිසිදු සාක්ෂියක් හමු වී තිබුණේ නැහැ.
“පවතින CH4 සහ CO2 ප්‍රමාණවල එකවර පැවතීම පැහැදිලි කළ හැක්කේ ඉතා ඝන වායුගෝලයකින්, එනම් සෞර ලෝහමයත්වයට සාපේක්ෂ ව 100 ගුණයකින් යුත් සහ බරින් 10-25% පමණ H2O අන්තර්ගතයකින් යුත්, නැතහොත් දියර ජල සාගරයක් මත ඇති කුඩා වායුගෝලයකින් පමණයි. ග්‍රහලෝකයේ දියර ජල සාගරයක් තිබුණත් නැතත්, ලබාගත් ප්‍රතිඵල අනුව K2-18 b හි ජලයෙන් පොහොසත් අභ්‍යන්තරයක් ඇති බව පෙන්වා දෙනවා.” පර්යේෂකයන් පවසනවා.
K2-18 b හි වායුගෝලයේ ඇමෝනියා සහ කාබන් මොනොක්සයිඩ් ද නොමැති බව සොයා ගෙන තිබෙනවා. නව අධ්‍යයනයේ කතුවරුන් පවසන පරිදි, වායුගෝලයේ ඇමෝනියා නොමැතිකම දියර සාගරයකට අනුකූල වුවත්, එය තීරණාත්මක නොවන අතර, කාබන් ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් අනුපාතය පිළිබඳ ප්‍රයෝජනවත් තොරතුරු ලබා ගැනීමට තවත් නිරීක්ෂණ අවශ්‍ය වනවා. වායුගෝලීය ජල වාෂ්ප නොමැතිකම නිසා ජල වාෂ්ප ඝනීභවනය හේතුවෙන් ‘සිසිල් උගුලක්’ (cold trap) ලෙස පවතින බවට ද යෝජනා කළ හැකියි.
වැඩිදුර නිරීක්ෂණ මඟින් මෙම අධ්‍යයනවලින් හෙළි කරගත් වායුගෝලීය ආකෘති තවදුරටත් නිරවුල් කරගැනීමටත්, K2-18 b හි ජලය වායු ස්ථරයක්, දියර සාගරයක් හෝ හිම මූලයක කොටසක් ලෙස පවතින්නේ ද යන්න පිළිබඳ වඩාත් පැහැදිලි චිත්‍රයක් ලබා ගැනීමටත් බලාපොරොත්තු වනවා. එය කුමන තත්ත්වයක පැවතුණත්, මෙම අධ්‍යයනයෙන් පෙන්නුම් කරන්නේ එහි ජීවයක් පවතින බවට සාක්ෂි නොමැති බවයි. එසේ වුවත්, මෙම ග්‍රහලෝකය බොහෝ විද්‍යාඥයින්ට ආකර්ෂණීය අධ්‍යයන වස්තුවක් වනවාට සැකයක් නැහැ.
නිම්නා අමරසේකර
from Vidusara Science Magazine https://ift.tt/gQt0bKA
via Magazine




Post a Comment