ජාන පරීක්ෂා කිරීම හරහා ගැණුම්කරුවන්ට සිය පෙළපතේ සම්භවය ආදී තොරතුරු ලබාගත හැකි පරිදි සේවා පවත්වාගෙන ගිය ප්‍රකට ඇමරිකානු ජාන පරීක්ෂණ සමාගමක් වන 23andMe, සිය බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කිරීම සඳහා ඉල්ලුම් කර තිබෙනවා. සමාගමෙන් අලෙවි කෙරෙන ජාන සාම්පල කට්ටලවල ඉල්ලුම කඩාවැටීම සහ 2023 වසරේ සිදු වූ ජානමය දත්ත කාන්දු වීම නිසා ජන ප්‍රසාදය බිඳවැටීම මීට පසුබිම් වී තිබෙනවා.
23andMeහි ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස කටයුතු කළ Anne Wojcicki එම තනතුරින් ඉල්ලා අස් වීමත් සමඟ සමාගමේ කොටස්වලින් 50%ක වටිනාකම ශත 88ක් දක්වා පහත වැටී තිබුණා. Wojcicki තනතුරේ සිටිය දී සමාගම විකුණා දැමීම සඳහා කිහිපවරක් ම උත්සාහ කර තිබුණත්, ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ ව ගොස් ඇති අතර අවසන් වරට සමාගමේ වටිනාකම ලෙස සටහන් ව තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 11ක් ලෙසයි. ගැනුම්කරුවෙකු සොයාගැනීම සඳහා සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තවදුරටත් උත්සාහ දරමින් සිටින අතර, අන්තර්වාර ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් වූ හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී Joe Selsavage යටතේ සමාගමේ දැනට ක්‍රියාත්මක මෙහෙයුම් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ඩොලර් මිලියන 35ක මුදලක් රැස් කරගන්නට සමත් ව තිබෙනවා.
2021 වසරේ බිලියනපති රිචඩ් බ්‍රැන්සන්ගේ විශේෂ කාර්ය අත්කරගැනීමේ සමාගමක් (SPAC) යටතේ පොදු වෙළෙඳපොළට පිවිසි 23andMe ඉතා ශීඝ්‍ර ජනප්‍රියත්වයක් හිමිකරගත් අතර එම වසර අවසානය වන විට ඩොලර් බිලියන 6ක වෙළෙඳපොළ වටිනාකමක් හිමිකරගත්තා. සමාගම විසින් අළෙවි කෙරෙන DNA පරීක්ෂණ කට්ටලවල ඉල්ලුම සාපේක්ෂ ව ඉහළ ගිය අතර DNA ඇතුළත් සාම්පල යළි සමාගම වෙත එවූ විට එය පරීක්ෂාකර බලා ජානමය පෙළපතේ සම්භවය ආදී තොරතුරු රැසක් ගැනුම්කරුවා වෙත සමීප කරවීම සමාගමේ ප්‍රමුඛ සේවා අතර පැවතියා.
කෙසේ නමුත් මෑත කාලීන ව මෙකී DNA පරීක්ෂණ කට්ටලවල අලෙවිය දැවැන්ත කඩාවැටීමකට ලක් වුණා. එක් වරක් DNA පරීක්ෂා සිදු කරගත් ගැනුම්කරුවෙකුට තවදුරටත් සමාගමේ සේවය අවශ්‍ය නො වීම එයට එක් හේතුවක් බව විශේෂඥයන් පෙන්වා දෙනවා. 2023 වසරේ 23andMe සයිබර් ප්‍රහාරයකට නතු වූ අතර, මිලියන 7කට ආසන්න ගැනුම්කරුවන් ප්‍රමාණයකගේ පෞද්ගලික දත්ත මාස පහක කාලයක් තුළ පිටතට කාන්දු වුණා. ඉන් සමාගමේ කීර්ති නාමය දැඩි ලෙස පළුදු වූ අතර, එහි අනාගත පැවැත්මට ද දැඩි බලපෑමක් එල්ල කෙරුණා.
සෞන්දර්ය සෙනරත්
from Vidusara Science Magazine https://ift.tt/qzsuJGB
via Magazine
Post a Comment