zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

තල්මහ උගන්වන පිටසක්වළ හෝඩිය

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

තල්මහ විශේෂඥයන් සහ පිටසක්වළ ජීවය සොයා පර්යේෂණ කරනන්නන් අතර සිතා සිටිනවාට වඩා සමානකමක් පවතින බව ඔබ දැන සිටියා ද? දෙ පිරිස ම තමන්ගේ විෂයයන් සමග සන්නිවේදනය කිරීමේ හරිහැටි මඟක් හඳුනා ගැනීමේ අභියෝගයට මුහුණ පාන්නන් වීම ඒ සමානකමයි.

අපත් සමග සන්නිවේදනයේ යෙදිය හැකි පාරභෞමික ජීවයක් තිබේ ද යන්න නිශ්චිත ව පැවසීමේ හැකියාව මිනිසාට නැහැ. නමුත් තල්මසුන් මුහුදේ සිටිනා බව අප සක්සුදක් සේ දන්නවා. සිවුරුහන් බෑමක් වැනි නාදයකින් ඔවුනොවුන් අතරේ සන්නිවේදනයන් සිදු වන බව ද අප දන්නා කරුණක්. නමුත් අපට ඔවුන් හා සන්නිවේදනය කළ හැකි ද? එසේ වුව හොත් එය අනාගතයේ පිටසක්වළ ජීවයක් හා පවත්වන සන්නිවේදනයකට පෙර පුහුණුවක් නො වන්නේ ද? මේ අහසට මුහුද මෙන් වෙනස් විෂයන් දෙකෙහි ඇති එම රසවත් ගැලපීම හඳුනා ගන්නට Alaska Whale Foundation නම් තල්මහ පර්යේෂණ පදනමේත් බුද්ධිමත් පිටසක්වළ ජීවයක් සොයා විශ්වය පීරමින් සිටින SETI ව්‍යාපෘතියේ විද්‍යාඥයන් සමත් වී තිබුණා. මෙහි දී ඔවුන්ගේ අරමුණ වී තිබුණේ තල්මහ සමඟ සන්නිවේදනයක නිරත වීමයි.

තල්මහ විශේෂ එකිනෙකා අතර අදහස් හුවමාරුවකට මත්තෙන් යම් සුවිශේෂ හඬක් නංවනවා. මිනිසුන් අතරේ අදහස් හුවමාරුවකට පෙර සිදු වන සුබ පැතීමකට සම කළ හැකි එය ‘contact call’ හෙවත් ‘සබඳතා ඇමතුම’ ලෙස හැඳින්වෙනවා. මෙහි දී පර්යේෂණ කණ්ඩායම සිදු කළේ හම්ප්බැක් තල්මහ ගහනය බහුල වශයෙන් ගැවසෙන ඇලස්කා මුහුදු සීමාව වෙත යාත්‍රා කර කලින් පටිගත කරන ලද ‘සබඳතා ඇමතුමක්’ විකාශය කිරීමයි. එහි අධ්‍යයන ප්‍රධානියා වශයෙන් කටයුතු කළේ UC Davis’s School of Veterinary Medicineහි මහාචාර්ය Brenda McCowan.

පර්යේෂණයේ සම කර්තෘ මෙන් ම AWFහි ප්‍රධාන විමර්ශකයා ද වන Fred Sharpe බිස්නස් ඉන්සයිඩර් වෙත පවසා තිබුණේ එවැනි සංඥා හම්ප්බැක් තල්මහ අතර සමාජයීය පැවැත්ම සඳහා නිතර භාවිත වන බවයි.

පර්යේෂකයන් විසින් විකාශය කෙරුණු ‘සබඳතා ඇමතුමෙන්’ මඳ වේලාවකට පසු බෝට්ටුව අසලට පිහිනා ආ හම්ප්බැක් තල්මහෙකු එය වටා රවුම් ගසන්නට පටන්ගෙන තිබුණා. පර්යේෂකයන් ඔහු නම් කර තිබුණේ ට්වේන් (Twain) ලෙසයි. මීළඟ විනාඩි 20 ක කාලය පුරාවට බෝට්ටුවේ සිටි විද්‍යාඥයන් එක ම ඇමතුම විවිධ වූ කාල විරාමයන් සහිත ව 36 වතාවක් නාද කරන්නට පියවර ගත් අතර ට්වේන් ඒ සෑම අවස්ථාවක දී ම ආසන්න වශයෙන් එම කාල විරාමය ම පවත්වාගනිමින් ප්‍රතිචාර නාද නංවා තිබුණා. උදාහරණයක් ලෙස ඇමතුම් නාදය ‍බෝට්ටුවෙන් නිකුත් වූයේ තත්පර 10ක නිහඬ විරාමයකින් අනතුරු ව නම් ට්වේන් ද එයට ප්‍රතිචාර දක්වා තිබුණේ තත්පර 10කට ආසන්න කාලයක් නිහඬ ව සිටීමෙන් අනතුරු ව යි. McCowan සඳහන් කරන්නේ මෙසේ සම විරාම කාල පවත්වා ගැනීම එය ඕනෑ කමින් ම කළ බුද්ධිමත් සන්නිවේදන උත්සාහයක් බව ඒත්තු ගන්වන බවයි. ඇය පසු ව ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙය ‘හම්ප්බැක් භාෂාව’ යොදාගනිමින් හම්ප්බැක් තල්මහෙකු සමග කළ පළමු වැනි අදහස් හුවමාරුව වන බවයි.

මේ අධ්‍යයනයේ සම කර්තෘවරයෙකු වන SETI විද්‍යාඥ Laurance Doyle පවසන්නේ ට්වේන්ගේ හැසිරීම මිනිසාගේ අවධානය දිනා ගන්නට කටයුතු කරන පිටසක්වළ ශිෂ්ටාචාරයක හැසිරීමට ද සමානකමක් දැක්විය හැකි බවයි. SETI ව්‍යාපෘතිය සිය මෙහෙයුම් ඇරඹීමේ දී සිදු කළ උපකල්පනයක් නම් පිටසක්වළ බුද්ධිමත් ජීවයකට මිනිසුන් සමඟ අදහස් හුවමාරුවකට අදහසක් පැමිණියහොත් පොළොවේ පිහිටුවා ඇති ග්‍රාහකයන් ඉලක්කගත කරනු ඇති බවයි. ටේවේන් සිදු කළේ ද එයට සමාන දෙයක්.

Doyle සහ SETI ව්‍යාපෘතියේ ඔහුගේ පර්යේෂණ සගයන් AWF සහ UC Davis’s School of Veterinary Medicine සමග එක් ව වෙනත් ජීව විශේෂයක් සමග සන්නිවේදනය කිරීමේ දී ලබා ගත හැකි අත්දැකීම් බෙදාහදා ගනිමින් සිටිනවා. එය පිටසක්වළ ශිෂ්ටාචාරයක් සමග සන්නිවේදනය කිරීමට හා ඔවුන් පවසන දෑ තේරුම් ගැනීමට අවැසි බුද්ධිමය පෙරහන් තනා ගැනීමට රුකුල් සපයනවා.

තල්මහ‍ට අමතර ව ඩොල්ෆින් සතුන් වැනි බුද්ධිමත් යැ යි සැලකෙන සාගර ක්ෂීරපායින් සමග ද ගොදුරු බිල්ලට ගන්නා මාංශභක්ෂක විලෝපිකයන් මෙන් ම සමාජශීලී ජීව විශේෂයක් වන අලි ඇතුන් සමග ද මේ ක්‍රමය භාවිතා කරමින් සන්නිවේදනයක් ගොඩනඟා ගැනීම කෙරෙහි පර්යේෂණ දියත් කිරීමට ද ඔවුන් අදහස් කරගෙන සිටිනවා.

ඉතින් හිතවතුනි යම් කලෙක පිටසක්වළ බුද්ධියක් අප ආමන්ත්‍රණය කළත් නො කළත්, නිවෙසේ වෙසෙන සුරතලා සමග හෝ කතා බස් කළ හැකි යුගයක් එලැඹෙනු ඇතැ යි බලාපොරොත්තු තබාගත හැකියි.

සත්‍ය හෙට්ටිආරච්චි

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!