zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

සමහරු පොෂ් කියලා පෙන්නන්න දාන මේ වගේ කැටයං ඇම්බැක්කෙත් නෑ බ්‍රෝ!

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 


ඔය පොෂ් කියන්නේ මොකද්ද හැබෑටම කියන ප්‍රශ්නේ ගොඩක් දෙනෙක්ට තියෙනවා. සමහරු හිතනවා කාර් එකකින් ඇවිත් බහින්නේ පොෂ් ඩයල් එකක් කියලා. තවත් සමහරු හිතනවා ඉංග්‍රීසි කථාකරන අය පොෂ් කියලා. හැබැයි ඇත්තටම පොෂ් කියන්නේ ඊට වඩා එහාට ගියපු දෙයක්. පොෂ් කියන එක ඇත්තටම ක්ලාස් එකත් එක්ක එන දෙයක්. ක්ලාස් එක කියන එක එන්නේ සල්ලි වලින් වත්, ඉංග්‍රීසි වලින් වත් නෙවෙයි. උගත් කම, ස්මාට් කම, විනීත බව, ශිෂ්ට කම, ක්ලාසි පෙනුම වගේ හැම දෙයක්ම එක්ක තමයි ක්ලාස් එක එන්නේ. දැන් තේරෙනවනේ පොෂ් කියන්නේ මොකද්ද කියලා. පොෂ් කියන එකේ යම් යම් කාරණා සමහරුන්ට උපතින්ම ලැබෙනවා. හැබැයි පොෂ් වෙන එක ඇත්තටම තමන්ට හදාගන්න පුළුවන් දෙයක්. බොහොම සරල, ලෙහෙසි පහසු කාරණාවක් නෙවෙයි, හැබැයි බැරි දේකුත් නෙවෙයි. හැබැයි සමහරු ඉන්නවා ලේසි පාරෙන් පොෂ් වෙන්න ට්‍රයි කරන. ඒ කියන්නේ අර වෙන්ඩ පොෂ් අක්කිලා අයියලා. සමහර නොදන්න කෙනෙක් හිතන්න පුළුවන් “මේ අය මාර පොෂ්නේ” කියලා. හැබැයි දන්න මනුස්සයෙක් පට ගාලා අල්ලගන්නවා මේ අය අර පොෂ් වෙන්න ඕන ක්ලාසි ගතිය නැති වෙන්න පොෂ් ඩයල්ස් තමයි කියලා. එහෙම වෙන්ඩ පොෂ් පීපල්ස්ලාව අඳුනගන්නේ මෙහෙමයි ෆ්‍රෙන්ඩ්ස්!

1. හෙනම ලොකු ඉංග්‍රීසි සීන්

ඉංග්‍රීසි කියන්නේ ආභරණයක් නෙවෙයි. ඉංග්‍රීසි කියන්නේ භාෂාවක්. ලංකාවේ ඉන්න අපිට ලෝකෙට විවෘත වෙන්න තියෙන භාෂාවක්. එතකොට පොෂ් වෙන්න ඉංග්‍රීසි ඕනෙද? පොෂ් වෙන්න ඉංග්‍රීසි ඕන නෑ. ඒත් පොෂ් වෙන්න දැනඋගත් කම් තියෙන්න ඕන. එහෙම දැන උගත් මනුස්සයෙක් වෙන්න නම් ඉංග්‍රීසි භාෂා ඥාණය තියෙන එක වටිනවා. මොකද ලංකාවෙන් එහා දැනුම ලබාගන්න ඉංග්‍රීසි හෝ ඒ වගේ වෙනත් ජාත්‍යන්තර භාෂාවක් අවශ්‍ය නිසා. හැබැයි අපේ වෙන්ඩ පොෂ් කට්ටිය හිතනවා ඉංග්‍රීසි කියන්නේ ආභරණයක් කියලා. ඉතින් මේ වෙන්ඩ පොෂ් අය ඒ නිසා ෆුල් ඉංග්‍රීසියෙන් තමයි හැමදේම කරන්නේ. ඒක ප්‍රශ්නෙකුත් නෑ. මොකද ඉංග්‍රීසි වුනත්, සිංහල වුනත්, දෙමළ වුනත් මෙවලමක් විතරයි. හැබැයි මේ වෙන්ඩ පොෂ් ඉංග්‍රීසි ස්පීකින් අක්කිලා අයියලා එතනින් නතර වෙන්නෙත් නෑ. ඉංග්‍රීසි බැරි හරි, ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්න හරි උන්දැලට නක්කලෙත් දානවා. මෙහෙම වෙන්ඩ පොෂ් ඩයල් තමයි ඔය ඉංග්‍රීසි දන්නෙ නැති කවුරුහරි ඉන්න තැනක ඒ මනුස්සයට කිණ්ඩියට මොනවහරි තම තමන් අතර ඉංග්‍රීසියෙන් කියලා හිනාවෙන්නේ. වැරදි වැරදි ඉංග්‍රීසි කථාකරන්න උත්සාහ කරන මනුස්සයෙක්ට හිනාවෙන්නෙත්.

 

2. බාගෙට කැඩිච්ච ඉංග්‍රීසි

දැන් ඔය ඉංග්‍රීසි ආභරණේ කරගත්තු වෙන්ඩ පොෂ් අක්කිලා සහ අයියලා ගැන අපි කිවුවනේ. හැබැයි ඉංග්‍රීසි ආභරණයක් කියලා හිතන, හැබැයි ඉංග්‍රීසි ආ​භරණේ දාගන්න තරම් දැනුම මදි තවත් වෙන්ඩ පොෂ් සෙට් එකක් ඉන්නවා. මේ අයත් දෙයියනේ කියලා “වී ආර් වෙරි ඉංගිරිස් පීපල්” කියලා පෙනී ඉන්න ට්‍රයි එක දෙනවා. වැරදි වැරදි ඉංග්‍රීසි කථාකරන අයට හිනාත් වෙනවා. හැබැයි ඉතින් මේ අක්කියෙක් අයියෙක් එක්ක ඉංග්‍රීසි විතරක් දන්න පිටරැටියෙක් එහෙම කථාවට සෙට් වුනොත් මිනිහා මඥ්ඥං. ඇයි මේ අයගේ ඉංග්‍රීසි “වට් ආ යූ ඩුයින්, කොට්ටාවට පයිං” ටයිප් එකේනේ! මේ අය ගොඩක් වෙලාවට ඉංග්‍රීසි දන්නවා කියලා පෙන්නන්න කරන්නේ සිංහලෙන් අමුතු ඇක්සන්ට් දීලා කථාකරන අතරවාරයේ, කථාව මැද්දට “ඇන්ඩ්”, “සෝ” වගේ පොඩි පොඩි ඉංග්‍රීසි සක්ක කෑලි බස්සන එක.

 

3. ඇපල්!

මිනිස්සු ස්මාට්ෆෝන් පාවිච්චි කරන්නේ මෙවලම් විදියටනේ. ෆොටෝ ගන්න, කෝල් ගන්න, මැසේජ් කරන්න වගේ එක එක වැඩවලට ස්මාට්ෆෝන් පාවිච්චි වෙනවා. හැබැයි ඉතින් ලෝකේ මේ වෙනකොට එක එක මාදිලියේ, එක එක බ්‍රෑන්ඩ් වල ස්මාට්ෆෝන් තියෙනවා. සමහරක් ලස්ස දෙක තුනක් වෙනකොට, පහළොස්දාහටත් ස්මාට්ෆෝන් ගන්න පුළුවන් කම තියෙනවා. දැන් ඔය ස්මාට්ෆෝන් ලෝකේ කුලීන පෙළැන්තිය කියලා බොහොමයක් දෙනෙක් අඳුනගන්නේ ඇපල් අයිෆෝන් තමයි. ඒක ඇත්තද නැත්තද කියන එක ගැන පස්සෙ වාද කරමු. හැබැයි සමහරු ඉන්නවා ඇපල් බ්‍රෑන්ඩ් එකෙන් එහාට යන්නෙ නැති. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ඒක තමන්ගේ ටෙක් සහ කල්චරල් ටේස්ට් එක. ඒ අය දෙයියනේ කියලා ඇපල් අයිෆෝන් එකක් පාවිච්චි කරගෙන තමන්ගේ පාඩුවේ ඉන්නවා. ෆොටෝ එකක් ගත්තත් ඇපල් ලෝගෝ එක වදින්න ෆොටෝ එක ගත්තත් එතනින් එහාට දඟලන්නෙ නෑ.

හැබැයි දැන් ඔය වෙන්ඩ පොෂ් පීපල්ස්ලාට එහෙම බෑ. ඒ අය ඇපල් අයිෆෝන් හොයන්නේ පොෂ් කියලා පෙන්නන්න. ඒ නිසාම අඩුවට තියෙන පරණම අයිෆෝන් මොඩ්ල් එකක් වුනත් මේ අය ගන්නවා. ඇයි ඇපල් ලෝගෝ එක තියෙනවනේ. ඒ විතරකුත් නෙවෙයි. ඕන වෙලාවක අනික් ෆෝන් දිහා අවඥාවෙන් බලන්නේ, ඇපල් නොවෙන ෆෝන් පාවිච්චි කරන හැමෝම අඩු පොෂ් කුලේ කියලා අඟවන ගමන්. ආන්න පිංවතුනි, වෙන්ඩ පොෂ් කොලිටි එකක්!

 

4. වට් ආ දෝස් පැණි කොකනට් මැදට දාපු ස්ට්‍රින්ග් හොපර්ස්?

සමහරු පුංචි කාලේ ඉඳලම හැදෙන්නේ වෙන රටවල. සමහරු ඉපදෙන්නේත් වෙන රටවල. එහෙම වෙනත් රටක ජීවත් වුණු මනුස්සයෙක් ලංකාවට ආවට පස්සේ ලංකාවේ තියෙන සමහර දේවල් මඥ්ඥං වගේ වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට එහෙම මනුස්සයෙක් කැවුම්, අතිරස වගේ ලංකාවට ආවේණික දේශීය සාම්ප්‍රදායික කෑම අඳුනා නොගන්න පුළුවන්. ඒක කිසීම ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ ලංකාවේ උස්මහත් වුණු වෙන්ඩ පොෂ් අක්කිලා අයියලා ලංකාවේ තියෙන දේවල් අඳුනන්නෙ නෑ වගේ රංගනය කරන කොට නම් ඔන්න අපිට තේරෙනවා මේ උන්දැලා වෙන්ඩ පොෂ් තමයි කියලා. ඇත්තටම පොෂ් මනුස්සයෙක් කියන්නේ එක කල්චර් එකකට විතරක් සීමා වුණු කෙනෙක් නෙවෙයි. ඒ නිසා ගොඩක් වෙලාවට පොෂ් මනුස්සයෙක් තමන් නොදන්න වෙනත් කල්චර් එකක තියෙන දේවල් වුනත් හොයලා කරලා දැනගන්නවා. අන්න ඒකට වෙන්ඩ පොෂ් උන්දැලා! පොඩි කාලේ ඉඳල කාපු ඉස්පන්චිය පෙන්නලා අහනවා “මොකද්ද අනේ මේ ගොඩේ ටයිප් මෆින් එක?” කියලා!

5. අපිත් ඇඩල්ට්ස්ලා තමයි දැන්!

සාමාන්‍යයෙන් අපේ සංස්කෘතියේ තියෙනවා ඕනම වැඩිමහළු මනුස්සයෙක්ට අපේ කමෙන් කථා කරන ක්‍රමයක්. ඒ කියන්නේ අපිට ඕනම වැඩිහිටියෙක් නැන්දෙක්, මාමෙක්, අම්මෙක්, තාත්තෙක්, සීයෙක්, ආච්චියෙක් වෙන්න පුළුවන්. එහෙම නැතුව බටහිර ක්‍රමේට ගත්තත් අපි වැඩිහිටි හෝ පොඩිහිටි ඕනම කෙනෙක්ට නමෙන් සහ නමට මිස්ටර්, මිස්, මිසිස් වගේ කෑල්ලක් එකතු කරලා තමයි කථා කරන්නේ. මොකද, ඕනම මනුස්සයෙක්ට ගරු නම්බු ඇතුව සැලකීම කියන එක ලංකාවට හෝ එංගලන්තයට හෝ වෙනත් එක රටකට පොදු කතන්දරයක් නෙවෙයි. ඒක ලෝකයේ කොතැන වුනත් තියෙන පුරුද්දක්.

හැබැයි ඔය වෙන්ඩ පොෂ් අක්කිලා අයියලා හිතන දෙයක් තමයි, තමනුත් වැඩිහිටියෝ නිසා වෙනත් කිසිම කෙනෙක්ට ගරු කරන්න අවශ්‍ය නෑ කියලා. බඩුවක් ගන්න පොළට ගියත් පලා විකුණන අම්මට “ඔහේ”, “ඔයා” කියලා කථා කරන මේ වෙන්ඩ පොෂ් අක්කිලා සහ අයියලා, තමන් හිතන ලෙවල් එකට නැති ඕනම කෙනෙක්ට හිනාවෙන්නත් අමතක කරන්නෙ නෑ!

 

6. පීසා හට් සෙල්ෆීස්!

මේ නම් ටිකක් පරිස්සමෙන් කථා කරන්න ඕන දෙයක්. දැන් සෝෂල් මීඩියා යුගයේ ගොඩක් දෙනෙක් තමන් යන යන තැන ෆොටෝස් දාන එක, සෙල්ෆීස් දාන එක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒකට අපිට වැරැද්දක් කියන්නත් බැහැ. හැබැයි ඉතින් එහෙම සෙල්ෆීස් දාන එකේ පොඩි ලෙවල් එකක්, ක්ලාස් එකක් තියෙන්න ඕන. ඒ කියන්නේ පළවෙනි පාරට පීසා හට් ගියාට පස්සේ පිස්සුවෙන් වගේ සෙල්ෆි කෑලි ටිකක් දැම්මට කමක් නෑ. හැබැයි පීසා හට් යන යන හැම සැරේකටම සෙල්ෆි දාලා, චෙක් ඉන් දාන එක පොඩ්ඩක් අවුල් වගේ නැද්ද? හැබැයි නපොලිතාන් පීසා, ජියෝවානි වගේ වෙනස් විදියේ පීසා කඩේකට ගියහම චෙක් ඉන්, සෙල්ෆි දාන එක ගැටළුවක් නෑ. හැබැයි අවංකවම කියනවා නම් මේ යන යන තැන් වල චෙක් ඉන් දාන එක සහ සෙල්ෆීස් දාන එක වෙන්ඩ පොෂ් අයව මනින මිම්මක් වුනත්, ඔය පොඩි පොඩි කෙල්ලො කොල්ලෝත් ඔය ආතල් එක ගන්නවා කියන එකත් කියන්ඩ ඕන. එහෙම කළා කියලා උන්ව වෙන්ඩ පොෂ් කාණ්ඩෙට දාන එක සාධාරණ නැහැනේ!

 

7. මයි ලයිෆ් ඇට් බීච් පාටීස් ඇන්ඩ් ක්ලබ් පාටීස්!

මිනිස්සුන්ට විනෝද ජීවිතේකුත් තියෙන්න ඕන. ඒ නිසා මිනිස්සු ක්ලබ් යනවා. බීච් පාටීස් වලට යනවා. ඒක කිසිම ප්‍රශ්නයක් තියෙන දෙයක් නෙවෙයි. හැබැයි මනුස්සයෙක්ගේ මුළු ජීවිතේම ක්ලබින්, බීච් පාටීස් වෙනවා නම්, එක්කෝ ඒ මනුස්සයා ඒ සම්බන්ධ රැකියාවක් කරන කෙනෙක් වෙන්න ඕන. එහෙම නැතිනම් සල්ලි තියෙනවට හැමදාමත් ක්ලබ් බහින ඩයල් එකක් වෙන්න ඕන. එහෙමත් නැතුව කවුරුහරි මනුස්සයෙක්ගේ ෆේස්බුක් එක, ඉන්ස්ටග්‍රෑම් එක බැලුවහම දවස ගාණේ ක්ලබ් බහින, බීච් පාටි යන, දිනපතා නයිට් ලයිෆ් එකක් තියෙන කෙනෙක් කියලා පේනවා නම්, අනිවාර්‍යයෙන්ම වෙන්ඩ පොෂ් ඩයල් එකක් වෙන්න ඕන!


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!