පෘථිවියේ සිට වැඩිම දුරකින් ඇදී යමින් පවතින, මානව නිර්මිත අභවකාශ යානය වන Voyager 1 හි ආයු කාලය දීර්ඝ කිරීම සඳහා NASA ආයතනය අතිශය අවදානම් සහගත නමුත් නිර්භීත පියවරක් ගනිමින් සිටිනවා. ඒ අනුව අන්තර්තාරීය අවකාශයේ ගමන් කරන මෙම යානය සතු සීමිත විදුලි බලය ඉතිරි කර ගැනීම සඳහා එහි තිබූ තවත් විද්‍යාත්මක උපකරණයක් අක්‍රිය කිරීමට ඉංජිනේරුවන් පියවර ගෙන තිබෙනවා.
පසුගිය අප්‍රේල් 17 වනදා නාසා ආයතනය විසින් වොයෙජර් 1 හි ‘අඩු ශක්ති ආරෝපිත අංශු’ (Low-energy Charged Particles – LECP) පරීක්ෂණ මෙවලම අක්‍රිය කිරීමට පියවර ගැනුණා. අන්තර්තාරීය අවකාශයේ ව්‍යුහය මැනීමට යොදාගත් මෙම උපකරණය අක්‍රිය කිරීම මඟින් යානයේ ආයු කාලය තවත් වසරකින් පමණ දීර්ඝ කර ගැනීමට හැකි වනු ඇති බවයි විද්‍යාඥයන් විශ්වාස කරන්නේ. මීට පෙර 2025 මාර්තු මාසයේ දී Voyager 2 යානයේ ද මෙම උපකරණය අක්‍රිය කෙරුණා.
ඉංජිනේරුවන්ගේ මීළඟ ඉලක්කය වන්නේ ‘බිග් බෑන්ග්’ ලෙස නම් කර ඇති සුවිශේෂී උපාංග ප්‍රමුඛතා මාරු කිරීමේ ක්‍රියාවලියක් ඉටුකිරීමයි. මෙහි දී වැඩි විදුලි බලයක් වැය කරන ඇතැම් උපාංග අක්‍රිය කර ඒ වෙනුවට අඩු බලයක් වැය වන විකල්ප උපාංග ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙමඟින් යානය උණුසුම් ව තබා ගනිමින් තවදුරටත් විද්‍යාත්මක දත්ත රැස් කිරීමට බලාපොරොත්තු වනවා.
ඇතැම් විට යහපත් ප්‍රතිඵල නොලැබී යාමට ද ඉඩ ඇති මේ මෙහෙයුම මුලින් ම මැයි සහ ජූනි මාසවල දී වොයෙජර් 2 යානය මත පරීක්ෂා කරනු ලබන අතර, එය සාර්ථක වුවහොත් ජූලි මාසයේ දී වොයෙජර් 1 සඳහා ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එය සාර්ථක වුවහොත්, දැන් අක්‍රිය කළ LECP මෙවලම නැවත පණ ගැන්වීමට පවා අවස්ථාව ලැබෙනු ඇති බව NASA පවසනවා.
වසර 47කට වඩා පැරණි මෙම යානා ප්ලූටෝනියම් ක්ෂය වීමෙන් ලැබෙන තාපය මඟින් විදුලිය නිපදවාගන්නා අතර, වාර්ෂික ව ඒවායේ බලශක්තිය වොට් 4කින් පමණ අඩු වනවා. අධික ශීතලෙන් යුතු අභ්‍යවකාශයේ යානයේ ඉන්ධන නල මිදීමට ලක් වුවහොත්, යානයේ ඇන්ටනාව පෘථිවිය දෙසට හරවා තබා ගැනීමට ඇති හැකියාව අහිමි වන අතර එය මෙහෙයුමේ අවසානය සනිටුහන් කරනු ඇති.
NASA හි වොයෙජර් මෙහෙයුම් කළමනාකරු කරීම් බදරුඩින් පවසන්නේ, “විද්‍යාත්මක උපකරණයක් අක්‍රිය කිරීම අප කිසිසේත් කැමති දෙයක් නොවුණත්, යානය පවත්වාගෙන යාමට ඇති හොඳම විකල්පය එයයි” යනුවෙන්.
1977 දී අභ්‍යවකාශගත කරන ලද Voyager 1 යානය දැනට පෘථිවියේ සිට කිලෝමීටර් බිලියන 25.4ක් පමණ ඈතින් අනවරත ගමනක නිරත වී සිටිනවා. එය වසර 5ක මෙහෙයුමක් සඳහා සැලසුම් කර තිබුණත්, මේ වන විට වසර 50ක සන්ධිස්ථානය කරා ළඟා වෙමින් පවතින අතර, දැනට
Voyager 1 සතු ව ප්ලාස්මා තරංග සහ චුම්බක ක්ෂේත්‍ර මැනිය හැකි ක්‍රියාකාරී උපකරණ ඉතිරි ව ඇත්තේ දෙකක් පමණයි.
මෙම යානා මිනිසා විසින් මෙතෙක් ගවේෂණය නො කළ කලාපයක සිට දත්ත එවමින් සිටින අතර, විද්‍යාඥයින් පවසන්නේ මෙම යානා ක්‍රියාත්මක ව තබා ගැනීම වෙනුවෙන් NASA ඉංජිනේරුවන් සිදු කරන කැපවීම ‘හාස්කමක්’ බඳු බවයි.
from Vidusara Science Magazine https://ift.tt/vwkjSVx
via Magazine







Post a Comment