අඩසියවසකට වැඩි කාලයකට පසු සිදු කෙරෙන ප්‍රථම මිනිසුන් සහිත චන්ද්‍ර මෙහෙයුමට දියත් වන කාල රාමුව ලබන පෙබරවාරි 6 වැනි දා විවෘත වීමට නියමිතයි.
ඉකුත් සිකුරාදා සන්ධ්‍යාවේ NASA ආයතනය නිවේදනය කළේ, කාලගුණය සහ තාක්ෂණික සූදානම මත පදනම් ව, Artemis 2 මෙහෙයුම සඳහා යොදාගන්නා ‘Space Launch System’ (SLS) රොකට්ටුව සහ Orion අභ්‍යවකාශ යානය පූර්ව දියත් කිරීමේ පරීක්ෂණ සඳහා ජනවාරි 17 වන දා දියත් කිරීමේ අංගනය වෙත රැගෙන යාමට සැලසුම් කර ඇති බවයි.
ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පිහිටි රොකට් එකලස් කිරීමේ ගොඩනැගිල්ලේ සිට 39B දියත් කිරීමේ අංගනය දක්වා කිලෝමීටර 6.4ක දුරක් මෙම රොකට්ටුව රැගෙන යනු ලබන්නේ නාසා ආයතනය සතු විශේෂිත ‘Crawler-Transporter 2’ නම් වාහනය උපයෝගී කරගෙනයි. මේ ගමන සඳහා පැය 12ක පමණ කාලයක් ගතවනවා.
“අපි ආටෙමිස් 2 මෙහෙයුමට ළං වෙමින් සිටිනවා. රොකට්ටුව අංගණය වෙත ගෙනයාම ඉතා ම ආසන්නයෙන්.” NASA හි ගවේෂණ පද්ධති සංවර්ධන මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ වැඩබලන සහකාර ප්රධානීවරියක වන ලෝරී ගේස් සඳහන් කරනවා. “දියත් කිරීම දක්වා වූ ගමනේ අපට තවත් වැදගත් පියවර කිහිපයක් ඉතිරි ව තිබෙනවා. මානව සංහතිය නැවත සඳ වෙත යන ගමනේ සෑම අවස්ථාවක දී ම කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව අපගේ ප්‍රමුඛතම වගකීම බවට පත් වනවා.” ඇය වැඩිදුරටත් සඳහන් කළා.
ආටෙමිස් 2 මෙහෙයුම මඟින් ගගනගාමීන් සිව්දෙනෙකු (නාසා ආයතනයේ රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියේ ජෙරමි හැන්සන්) දින 10ක අභ්‍යවකාශ චාරිකාවක නියැලෙමින් සඳ වටා ගොස් නැවත පෘථිවියට පැමිණීමට නියමිතයි. මෙම මෙහෙයුම සඳ මත ගොඩබැසීමක් හෝ සඳ වටා කක්ෂගත වීමක් සිදු නො කළ ද, 1972 දෙසැම්බර් මාසයේ ඇපලෝ 17 මෙහෙයුමෙන් පසු ව මානව වර්ගයා සඳුගේ ආසන්නයට ම යන ප්‍රථම ගමන ලෙස ඉතිහාසගත වනවා.
ආටෙමිස් 2 මෙහෙයුමට අදාළ රොකට් පද්ධතිය 39B දියත් කිරීමේ අංගනයට ළඟා වූ පසු, කාර්මික ශිල්පීන් විසින් රොකට්ටුව සහ යානය විවිධ පරීක්ෂණ සහ පිරික්සුම්වලට භාජනය කරනු ඇත. ඒ අතරින් ප්‍රධාන වන්නේ ‘වෙට් ඩ්‍රෙස් රිහර්සල්’ (wet dress rehearsal) ලෙස හැඳින්වෙන ඉන්ධන පිරවීමේ පෙරහුරුවයි.
ආටෙමිස් 1 මෙහෙයුම දියත් කිරීම 2022 වසන්ත සමයේ සිට එම වසරේ ම නොවැම්බර් මාසය දක්වා සැලකිය යුතු ලෙස ප්‍රමාදයට ලක් වුණා. එම පිළිසකර කිරීම්වලින් පසු ආටෙමිස් 1 මෙහෙයුම සාර්ථක වූ අතර, එමඟින් මිනිසුන් රහිතව ‘ඔරායන්’ යානය සඳුගේ කක්ෂය වෙත යවා නැවත පෘථිවියට ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණා.
ආටෙමිස් 2 හි ඉන්ධන පෙරහුරුව සාර්ථක ව අවසන් වූ පසු, මෙහෙයුම් කණ්ඩායම විසින් පියාසර සූදානම පිළිබඳ සමාලෝචනයක් පවත්වනු ඇති අතර, මෙහි දී සඳ වටා යන මෙහෙයුම සහ දියත් කිරීම සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලුම පද්ධතිවල තත්ත්වය පරීක්ෂාවට ලක් කෙරෙනවා. එම සමාලෝචනයෙන් අනතුරුව, කණ්ඩායම විසින් නිල දියත් කිරීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
සෞන්දර්ය සෙනරත්
from Vidusara Science Magazine https://ift.tt/gyzRTXr
via Magazine






Post a Comment