zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

හඳට චන්ද්‍රිකා සුසානයක්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

සඳේ ඇතැම් පෙදෙස් අනාගතයේ දී අභ්‍යවකාශ යානා සුසානයන් බවට පත් වනු ඇති බව පර්යේෂකයන් පවසනවා. විශ්‍රාම යැවුණ චන්ද්‍ර චන්ද්‍රිකා සහ අනෙකුත් අකර්මණ්‍ය දෘඩාංග කොටස් විද්‍යාත්මක සහ සංස්කෘතික වටිනාකමකින් යුතු චන්ද්‍ර ප්‍රදේශවලට හානි නො වන පරිදි චන්ද්‍ර පෘෂ්ඨය මතට පහත් කළ යුතු ව ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

ඉදිරි දශක දෙක තුළ අභ්‍යවකාශ ආයතන සහ පෞද්ගලික සමාගම් සඳ මත ජනාවාස ඉදි කිරීමටත්, පතල් කැණීම් සහ විද්‍යාත්මක උපකරණ ස්ථාපනය කිරීමටත් කටයුතු කිරීම සමඟ, සඳ වටා ගමන් කරන චන්ද්‍රිකා සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යනු ඇති බවට විවාදයක් නැහැ.

මෙම ක්‍රියාකාරකම්වල වර්ධනය සඳහා පිහිටුම්ගත කිරීම්, යාත්‍රණ කටයුතු සහ සන්නිවේදනය සඳහා වන චන්ද්‍රිකා ජාලයන්හි සහය ලැබෙනු ඇති. නමුත් මෙම චන්ද්‍රිකාවල ඉන්ධන අවසන් වූ පසු, ඒවා පොළොවේ ගැටීමට සැලැස්වීම හැර මෙහෙයුම්කරුවන්ට වෙනත් විකල්පයක් ඉතිරි නො වන අතර, එහි දී ඒවා කැබලිවලට කැඩී බිඳී යාම ද සිදු වනවා.

“ක්‍රමික ව මෙම චන්ද්‍රිකා සඳ මතට කඩා වැටීමට සැලැස්වීමට සිදු වන බැවින්, එය කුණු ගොඩක් බවට පත් වීමට ඉඩ තිබෙනවා,” යනුවෙන් ඩර්හැම් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරිනී ආචාර්ය ෆියෝනා තොම්සන් සඳහන් කරනවා. ඇය පසුගිය පසුගිය දා ග්ලාස්ගෝහි පැවැත්වුණු Space-Comm සමුළුවේ දී මේ පිළිබඳ විශේෂඥ මණ්ඩලයක් කැඳවීමට ද කටයුතු කර තිබුණා.

චන්ද්‍රිකා කොටස් සඳ මතුපිට විසිරී යාමට අමතර ව, අක්‍රිය වූ චන්ද්‍රිකා විශාල ප්‍රමාණයක් සඳ මතට පතිත වුවහොත් ඉන් සඳ මත ඉදි කරන ගොඩනැගිලිවලට, විද්‍යාත්මක උපකරණවලට මෙන් ම ප්‍රථම අභ්‍යවකාශගාමීන්ගේ පා සටහන් වැනි ඓතිහාසික ස්ථානවලට සහ විද්‍යාත්මක වැදගත්කමක් ඇති එහෙත් මිනිස් පහස නො ලද නො ඉඳුල් ස්ථානවලට හානි සිදුවීමේ අවදානමක් පවතින බව පර්යේෂකයෝ බිය පළ කරනවා.

තත්පරයට සැතපුම් 1.2ක වේගයකින් සිදුවන මෙම ගැටීම් හරහා දැඩි කම්පනයන් ඇති වන අතර, එමඟින් විද්‍යාඥයන් සඳ මත ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වන සංවේදී උපකරණවලට බාධා එල්ල විය හැකියි. මෙම ගැටීම් නිසා සඳ මතුපිට ඇති වන කැළැල් (ගැටුම්වලින් සෑදෙන ආවාට) මීටර් දස ගණනාවක් පුරා විහිදෙනු ඇතැ යි අපේක්ෂා කෙරෙනවා. එමෙන් ම ඉන් මතු වන රළු දූවිලි වළාකුළු මඟින් දුරේක්ෂවල දර්ශන අපැහැදිලි වීම සහ අනෙකුත් උපකරණවලට හානි සිදු වීම ද විය හැකියි.

“සඳෙහි මතුපිට වර්ගඵලය සලකා බලන විට මෙය ක්ෂණික ව ඇති වන ගැටලුවක් නො වුණත්, චන්ද්‍රිකා සංඛ්‍යාව වැඩිවත් ම ඒවා විද්‍යාත්මක හෝ සංස්කෘතිකමය වශයෙන් වැදගත් ස්ථාන මතට කඩා වැටීමේ සම්භාවිතාව ඉහළ යනවා,” යැ යි ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉයන් ක්‍රෝෆර්ඩ් පවසනවා. “අනාගතයට මුහුණදීමට අපට මේ සඳහා නිසි සැලසුමක් අවශ්‍යයි.”

පෘථිවිය වටා ගමන් කරන අක්‍රිය වූ චන්ද්‍රිකා විනාශ කිරීම සඳහා චන්ද්‍රිකා මෙහෙයුම්කරුවන් සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ පෘථිවි වායුගෝලයයි. සෑම වසරක ම අක්‍රිය වූ චන්ද්‍රිකා දහස් ගණනක් පෘථිවි වායුගෝලයට නැවත ඇතුළු වීමේ දී දැවී විනාශ වී යනවා. නමුත් සඳට වායුගෝලයක් නොමැති බැවින්, චන්ද්‍රිකා මෙහෙයුම්කරුවන්ට ඒ සඳහා වෙනත් විසඳුම් සෙවීමට සිදුවනවා.

ඉදිරි දශක දෙක තුළ චන්ද්‍ර මෙහෙයුම් 400 කට වඩා වැඩි ප්‍රමාණයක් සැලසුම් කර කිබෙන බැවින් මේ සඳහා විසඳුම් ඉතා ඉක්මනින් අවශ්‍ය වනවා. ඒ අතරට සඳ වටා කක්ෂගත වීමට නියමිත, NASA ආයතනය මෙහෙයවන Lunar Gateway අභ්‍යවකාශ මධ්‍යස්ථානය සහ සඳ මතුපිට ඉදිවන Artemis මූලික කඳවුර ද ඇතුළත් වන අතර, චීනය සහ රුසියාව විසින් දෙවන චන්ද්‍ර මධ්‍යස්ථානයක් ද සැලසුම් කරමින් සිටිනවා.

ලබන වසරේ දී, යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) විසින් Lunar Pathfinder චන්ද්‍රිකාව උඩුගුවනට යවනු ලැබීමට නියමිතයි. මෙය 2030 වන විට ක්‍රියාත්මක වීමට නියමිත ඔවුන්ගේ Moonlight චන්ද්‍රිකා පද්ධතිය සඳහා වන පරීක්ෂණ මට්ටමේ චන්ද්‍රිකාවක් වනවා. වසර අටක සේවා කාලයකින් පසු Lunar Pathfinder චන්ද්‍රිකාව ආරක්ෂිත ව බැහැර කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව මේ වන විටත් අවධානය යොමු වෙමින් පවතිනවා.

එක්සත් රාජධානියේ අභ්‍යවකාශ ඒජන්සියේ නියාමන අංශයේ ප්‍රධානී සාරා බෝයාල් පවසන පරිදි, එක්සත් ජාතීන්ගේ චන්ද්‍ර ක්‍රියාකාරකම් පිළිබඳ උපදේශන කණ්ඩායම (Atlac) සහ දැනට එක්සත් රාජධානිය මූලිකත්වය දරන අන්තර්-ඒජන්සි අභ්‍යවකාශ සුන්බුන් සම්බන්ධීකරණ කමිටුව (IADC) එක් ව චන්ද්‍රිකා බැහැර කිරීම සඳහා අනුගමනය කළ යුතු හොඳම ක්‍රමවේදයන් සකස් කරමින් සිටිනවා.

මෙහි දී වඩාත් ම අවධානය යොමු වී ඇති විසඳුම වන්නේ “අභ්‍යවකාශ යානා සුසාන භූමි” පිහිටුවීමයි. එහි දී මෙහෙයුම්කරුවන්ට තම පරණ චන්ද්‍රිකා නියමිත ස්ථානවලට හෝ ගැටීමෙන් පැන නඟින දූවිලි පාලනය කරගත හැකි විශාල ආවාට තුළට කඩා වැටීමට සැලැස්වීමට සිදු වනු ඇති. එක්සත් රාජධානියේ අභ්‍යවකාශ ඒජන්සිය මෙන් ම අනාගත අභ්‍යවකාශ ගවේෂණය සඳහා වූ මූලධර්ම මාලාවක් වන අමෙරිකානු ‘ආටෙමිස් සම්මුතියට’ (Artemis accords) අත්සන් තැබූ පාර්ශවයන් ද මෙම ප්‍රවේශය අනුගමනය කරනු ඇති.

“සඳ මත සුසාන කලාප පිහිටුවීම වඩාත් ම ප්‍රායෝගික විසඳුමයි,” යනුවෙන් සරේහි පිහිටි චන්ද්‍රිකා නිෂ්පාදන සමාගමක් වන SSTL හි Lunar Pathfinder ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති කළමනාකරු බෙන් හූපර් සඳහන් කරනවා. “නිශ්චිත ප්‍රදේශ ‘ගැටුම් කලාප’ ලෙස නම් කිරීමෙන්, මිනිසුන් විසින් නිර්මාණය කරන ලද ද්‍රව්‍ය සඳ මතුපිට පුරා විසිරී යාම සීමා කළ හැකි අතර, විද්‍යාත්මක ගවේෂණ සහ අනාගත මෙහෙයුම් සඳහා අනෙකුත් ප්‍රදේශ සුරක්ෂිත ව තබා ගැනීමට එය උපකාරී වනවා.” යැ යි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

The Guardian ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි



from Vidusara Science Magazine https://ift.tt/rl4Rmcn
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!