කලක සිට ජපානයේ ඇති විය හැකි බවට අනතුරු හඟවා තිබූ මෙගාකම්පන තත්ත්වයකින් ඩොලර් ට්‍රිලියන 1.81ක ආර්ථික හානියක් සිදුවනු ඇති බව එරට රජය විසින් නිකුත් කරන ලද වාර්තාවක දැක්වෙනවා. පැසිෆික් මුහුදු කලාපය තුළ හටගත හැකි බවට අපේක්ෂිත මේ දැවැන්ත භූමි කම්පාවෙන් ප්‍රචණ්ඩ සුනාමි තත්ත්වයක් ද ඇති කරනු ලබන අතර ගොඩනැඟිලි සිය ගණනක් ද සමඟ ජීවිත 300,000ක් පමණ බිලි ගනු ඇති බව වාර්තාවේ තක්සේරුවයි.
වාර්තාවේ සඳහන් වන පරිදි මෙකී මෙගාකම්පන තත්ත්වයෙන් රටට සිිිදුවන යෙන් ට්‍රිලියන 270.3ක හානිය එරට දළ දේශීය නිෂ්පාදිතයෙන් අඩක් පමණ පිරිවැයක් දරනවා.
භූ කම්පන උවදුරු අතරින් ලොව ඉදිරියෙන් ම සිටින රටවල් අතර ජපානය ද වනවා. මේ වාර්තාව මඟින් පෙන්වා දෙන්නේ ඉදිරි කාලය තුළ ජපානයේ පැසිෆික් සාගරයට මුහුණ ලා ඇති වෙරළ තීරයට ඔබ්බෙන් සාගර පත්ලේ පිහීටා ඇති නන්කයි ද්‍රෝණිකාව (Nankai Trough) පදනම් කරගත් මැග්නිටියුඩ් 8 සිට 9 දක්වා විචල්‍ය විය හැකි භූ කම්පනයක් ඇති වීමේ අවදානම ඇති බවයි.
පිලිපීන සාගර තැටිය, යුරේසියානු භූ තැටිය හමු වන කිලෝමීටර 900ක පමණ දිගකින් යුතු නන්කයි ද්‍රෝණිකාව පිහිටා ඇත්තේ ජපානයේ නිරිතදිග පැසිෆික් වෙරළ තීරයට ඔබ්බෙන්. මේ කලාපයේ ඇති වන භූ ගර්භ ක්‍රියාකාරකම් හේතුවෙන් සෑම වසර 100ත් 150ත් අතර කාලයකට වරක් අතිශය විනාශකාරී මෙගාකම්පන තත්ත්වයන් හටගැනෙනවා.
මේ ප්‍රදේශය පදනම් කරගනිමින් ඇති විය හැකි නරක ම තත්ත්වය සලකාබලා මැග්නිටියුඩ් 9 ක විශාලත්වයකින් යුතු මෙගාකම්පන තත්ත්වයක් ඇති වුවහොත් මිලියන 1.23කට අධික පදිංචිකරුවන් පිරිසක්, එනම් ජපානයේ ජනගහනයෙන් 1%ක් සිය නිවෙස්වලින් ඉවත් කිරීමට සිදුවනු ඇති බව වාර්තා වනවා. යම් හෙයකින් මේ ව්‍යසනය ශීත ඍතුවේ රාත්‍රියක සිදු වුවහොත් මියයන පුද්ගලයින් සංඛ්‍යාව 298,000 ක් පමණ වනු ඇති බව මෙකී වාර්තාව පෙන්වා දෙනවා.
සෞන්දර්ය සෙනරත්
from Vidusara Science Magazine https://ift.tt/yW78egb
via Magazine
Post a Comment