zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

සියක් ආයු විඳ කාටර් මැරුණත්, ඔහුගේ කටහඬ සැමදා රැව්දෙයි!

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ඇමරිකා එක්සත් ජනපදයේ 39 වැනි ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ජිමී කාටර් සියවසක් ආයු වළඳා අභාවප්‍රාප්ත වුණේ ඉකුත් 29 වැනි දායි. ඔහු ඇමරිකානු ඉතිහාසයේ වැඩි ම කලක් ජීවත් වූ ජනාධිපතිවරයා ද වනවා.

ඔහු සදාතනික ව නිහඬ වුවත්, ඔහුගේ හඬ තවත් බොහෝ කලක් යනතුරු සෞරග්‍රහ මණ්ඩලයෙන් එපිට රැව්දෙනු ඇති. ඒ NASA ආයතනය විසින් 1977 දී පාරභෞමික ජීවයක නෙත ගැටීම පිණිස දියත් කරන ලද වොයේජර් යානාවේ ඇති රන් තැටියේ (Voyager Golden Record) ඔහුගේ කටහඬ ද පටිගත ව ඇති බැවින්. “We are attempting to survive our time so we may live into yours.” (“අපි අපේ කාලයේ සුරැකෙන්නට උත්සාහ දරමු. ඇතැම් විට අපට ඔබේ කාලය තෙක් පැවතීමට හැකි වනු ඇත.”) යන්න එහි පටිගත වී ඇති ජනාධිපති කාටර්ගේ ප්‍රකාශයයි.

“අන්තර්තාරීය අවකාශයේ ඇදී යමින් පවතින වොයේජර් යානයේ රන් තැටියට දායකත්වය සැපයූ ජනාධිපති ජිමී කාටර්ගේ වියෝව අප සංවේගයට පත් කරනවා. කාටර්ගේ සාමයේ පණිවුඩය නො නැවතී විසල්, විසිතුරු විශ්වය ඔස්සේ ඇදී යනු ඇති.” NASA පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

වොයේජර් දියත් කිරීම හැරුණු විට කාටර් පාලන සමය වූ 1977-1981 කාලයේ අභ්‍යවකාශ ගවේෂණය අතින් තවත් විශේෂ සිදුවීම් කිහිපයක් ම සිදු වී තිබෙනවා. NASA ආයතනය විසින් මුල් ම කාන්තා අභ්‍යවකාශගාමියා, කළු ජාතික අභ්‍යවකාශගාමියා සහ ආසියානු අභ්‍යවකාශගාමියා සේවයට බඳවා ගැනෙන්නේ 1978 දීයි. ඇමරිකාවේ මුල් ම අභ්‍යවකාශ නැවතුම්පොළ වන Skylab විද්‍යාගාරය කඩා වැටෙන්නේ (1979) ද ඔහුගේ පාලන සමය තුළයි.

කාටර් ජනාධිපතිවරයා අභ්‍යවකාශ වැඩසටහන වෙනුවෙන් දක්වන ලද දැවැන්ත ම සහයෝගය ලෙස සැලකෙන්නේ අභ්‍යවකාශ ෂටල ව්‍යාපෘතිය සඳහා අවැසි මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට මුල් වී ක්‍රියාකිරීමයි. මෙලෙස 1979-1980 අතර කාලයේ NASA වෙත සම්පාදනය කළ අතිරේක මුදල් නො විණි නම් අභ්‍යවකාශ පියාසැරියේ සංකේතය බඳු වූ අත්තටු සහිත කක්ෂීය යානය කිසි දා යථාර්ථයක් බවට නො හැරෙනු ඇති බව විද්වත් අදහසයි.

අභ්‍යවකාශගාමීන් යොදාගෙන සිදු කෙරෙන මෙහෙයුම්වලට වඩා ජීවිත අවදානමක් ඇති නො වන ලෙස කළ හැකි රොබෝතික මෙහෙයුම් වෙත වැඩි නැඹුරුවක් දැක්වූ ජනාධිපතිවරයෙකු වශයෙන් කාටර් ප්‍රකට වුවත්, අභ්‍යවකාශ ප්‍රවාහන පද්ධතීන් සංවර්ධනය කිරීමේ ඇති වැදගත්කම ගැන ඔහුට මනා අවබෝධයක් තිබූ බව පැවසෙනවා.

“මිනිසුන් අඟහරු මතට හෝ පිටත අභ්‍යවකාශයට හෝ යැවෙන මෙහෙයුම් ගැන මම උද්‍යෝගිමත් වුණේ නැහැ. නමුත් NASAවේ වැඩ කරගෙන යාමට ෂටලය හොඳ මඟක් බව මම කල්පනා කළා. ඒ වන විටත් ආයෝජනය කර තිබූ ධනය නාස්ති කරගන්න මට වුවමනා වුණේ නැහැ.” කාටර් 2016 දී Ars Technica සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළා.

1978 ඔක්තෝබර් 01 දා NASA ආයතනය පිහිටුවා වසර 20 ක් පිරීම නිමිත්තෙන් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ සංචාරයක් සිදු කළ කාටර් ජනාධිපතිවරයා ෂටල ව්‍යාපෘතියේ තත්ත්වය විමසා බැලූ අතර, ඇමරිකානු අභවකාශ ව්‍යාපෘතිය වෙනුවෙන් උරදුන් පුරෝගාමී ගගනගාමීන් වෙත Congressional Space Medal of Honor සම්මානය ප්‍රදානය කිරීමට ද එක් වුණා.

1980 පවත්වන ලද ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් අපේක්ෂකයා වූ රොනල්ඩ් රේගන්ට පරාද වූ කාටර් ගත කළේ එක් ධුර කාලයක් පමණයි. ධුරයෙන් නික්මගොස් බොහෝ කලකට පසු, 2002 දී ඔහු සිය බිරිය රොසලින් ද සමඟ නැවත වතාවක් ෆ්ලොරිඩාවේ ස්පේස්පෝර්ට් අංගණයේ චාරිකාවක නිරත වුණා. එහි දී ෂටල ව්‍යාපෘතියෙන් අභ්‍යවකාශ වරම් ලද ගගනගාමීන්ට ද ඔහු හමුවීමට අවස්ථාව ලැබුණා.

“ලෝකය වඩා හොඳ තැනක් කිරීමට කැප වූ ඔහු මහජන සේවකයෙකුගේ පරමාදර්ශයයි. සෑම අයෙකුට ම යම් වෙනසක් ඇති කිරීමේ බලය සතු බව ඔහු අපට පෙන්වා දුන්නා.” NASA ප්‍රධානී බිල් නෙල්සන් සඳහන් කරනවා.

Space.com ඇසුරෙනි.

සත්‍ය හෙට්ටිආරච්චි



from Vidusara Science Magazine https://ift.tt/ZMNWr57
via Magazine
X
Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!