zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

පෞද්ගලික අංශයේ ප්‍රථම අභ්‍යවකාශ සක්මන සාර්ථක නිමාවක් දකී

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

අභ්‍යවකාශ තරණ ඉතිහාසයේ අලුත් වාර්තාවක් තබන්නට Polaris Dawn ගගනගාමීන් ඊයේ සමත් වුණා. ඒ ලොව ප්‍රථම වතාවට පෞද්ගලික අංශයේ අභ්‍යවකාශ මෙහෙයුමක් මඟින් සිදු වූ අභ්‍යවකාශ සක්මනක (Space Walk) හෙවත් බහිර් යානා ක්‍රියාකාරකමක (Exravehicular Activity) නිරත වෙමින්.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් ඊයේ සවස 3.43ට පමණ මෙහෙයුම් අණදෙන්නා වූ Jared Isaacman, Crew Dragon කැප්සියුලයේ වා අගුල විවෘත කරගෙන පිටතට පැමිණියා. ඒ ශුන්‍ය ගුරුත්වය යටතේ පහසුවෙන් අල්ලාගෙන සිටිය හැකි පරිදි තනා තිබූ Skywalker ලෙස හඳුන්වනු ලබන ආධාරකයේ ද සහාය ඇති වයි. එහි දී Isaacmanගේ හෙල්මටයේ සවි කර ඇති කැමරාව මඟින් ග්‍රහණය කරගනු ලබන පෘථිවියේ දර්ශනය සජීව අන්තර්ජාල විකාශයට මුහු කරමින් SpaceX සමාගම ඒ අද්විතීය අත්දැකීම ලොව පුරා විසිරී සිටින සුවහසක් නරඹන්නන් වෙත ළඟා කිරීමට කටයුතු කළා. අභ්‍යවකාශයට නිරාවරණය වෙමින් පෘථිවියේ මනස්කාන්ත දර්ශනය දෙස බලාගෙන Isaacman පැවසුවේ “ගෙදරදී නම් අපට කරන්න වැඩ කප්පරක් තියෙනවා, ඒත් මෙතන ඉඳගෙන බලද්දි – ඒක පේන්නෙ පරිපූර්ණ ලෝකයක් වගේ” කියායි.

කැප්සියුලය පිටත සවි කළ කැමරා මඟින් Isaacmanගේ සම්පූර්ණ ඡායාව ග්‍රහණය කරගනු ලැබුණු අතර, ඉන් පෙන්නුම් කෙරුණේ ඔහු ශුන්‍ය ගුරුත්වය යටතේ නර්ථනයක යෙදී සිටින බවක්. නමුත් සැබැවින් ම ඔහු සිදු කළේ මේ ගමන වෙනුවෙන් සහ අනාගත අභ්‍යවකාශ මෙහෙයුම්වල දී භාවිතයට ගත හැකි ලෙස නිමවා ඇති අලුත් පරම්පරාවේ අභ්‍යවකාශ ඇඳුම පිටත අභ්‍යවකාශය තුළ කෙසේ හැසිරේ දැ යි පරීක්ෂා කර බැලීමයි.

විනාඩි දහයකට මඳක් වැඩි කාලයක් මෙසේ පිටත අභ්‍යවකාශයට නිරාවරණය වෙමින් සිටි Jared යළි කැප්සියුලයට ඇතුළු වූ පසු, මඳ වේලාවකට පසු මෙහෙයුමේ විශේෂඥවරිය වන SpaceX ඉංජිනේරු Sarah Gillis අභ්‍යවකාශ සක්මන සඳහා පිටතට පැමිණියා. ඇය ද විනාඩි දහයකට ආසන්න කාලයක් පිටත අභ්‍යවකාශට නිරාවරණය වෙමින් සිය ඇඳුමේ සචලතාව පරීක්ෂා කර බැලීමට උත්සුක වූ අතර නැවතත් කැප්සියුලයට ඇතුළු වී සක්මන නිමා කළා. මේ සියල්ල සිදු වන විට නියමු Scott Poteet සහ SpaceX මෙහෙයුම් වෛද්‍ය නිලධාරිනී Anna Menon කැප්සියුලය තුළ රැඳී සිටිමින් සිය සහෝදර ගගනගාමීන් දෙදෙනාගේ අභ්‍යවකාශ ක්‍රියාකාරකම සමීප ව නිරීක්ෂණය කළා.

වා අගුළ මුද්‍රා තැබෙන සේ වසා දැමූ පසු නැවත වතාවක් කැප්සියුලය තුළ වායු පීඩනය සාමාන්‍ය අගය දක්වා ඉහළ දැමීමට පියවර ගැනුණා. ඒ සඳහා පැයකට ආසන්න කාලයක් වැය වුණා.

NASA ප්‍රධානී බිල් නෙල්සන් X ඔස්සේ සටහනක් තබමින් Polaris වැඩසටහනට සහ SpaceX සමාගමට සුබපැතුම් එක් කළා. ඔහු ඉන් පෙන්වා දී තිබුණේ අද ඔවුන් අත් කරගත් ජයග්‍රහණය වාණිජ්‍යමය අභ්‍යවකාශ කර්මාන්තයේ මෙන් ම ඇමරිකානු අභ්‍යවකාශ ආර්ථිකයේත් චිරස්ථිතිය උදෙසා තැබූ යෝධ පියවරක් බවයි.

මෙහෙයුමේ මුඛ්‍ය පරමාර්ථය වූ අභ්‍යවකාශ සක්මන සාර්ථක ලෙස නිම කළ Polaris Dawn කාර්ය මණ්ඩලය තවත් දින දෙකක කාලයක් කක්ෂයේ රැඳී සිටීමට නියමිතයි. ඔවුන් ඒ කාලය ගත කරනු ඇත්තේ 40ක් තරම් අධික වූ විවිධ අත්හදා බැලීම් සිදු කරමින්. SpaceX සමාගමේ Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවා පහසුකම යොදාගනිමින් අභ්‍යවකාශයේ සිට අන්තර්ජාලයට ප්‍රවේශ වීම ද ඊට ඇතුළත්.

ඔවුන් යළි පෘථිවිය බලා පිටත් වනු ඇත්තේ උදා වන සති අන්තයේයි. බොහෝ විට ශ්‍රී ලංකාවේ වේලාවෙන් ලබන ඉරිදා සවස් යාමයේ ඔවුන් රැගත් Crew Dragon කැප්සියුලය ෆ්ලොරිඩාවට ඔබ්බෙන් අත්ලාන්තික් සාගරය වෙත පහත් වීමට නියමිතයි.

සත්‍ය හෙට්ටිආරච්චි

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!