පටන් ගන්නකොටම කියන්න ඕන දෙයක් තියෙනවා. මේ ආටිකල් එක අතිශයින්ම ගැහැණු ළමුන්ට පමණයි. ඒකට හේතුව, අපි මේ කතා කරන්න යන කාරණාව වැඩි වශයෙන්ම හිරිහැරයක් වෙන්නේ ගැහැණු ළමයින්ට නිසා. දැන් ඔය ලව් සීන් තියෙන්නේ. එව්වා වෙන්නෙ මෙහෙමනේ. එක්කෝ එකෙක් අනිකව දැකලා හරි අහලා හරි ප්‍රේම සිත් ඇති කරගන්නවා. එහෙම නැතිනම් දෙන්නට දෙන්නා දැකලා හරි අහලා හරි එකිනෙකා ගැන ප්‍රේම සිත් ඇති කරගන්නවා. ඊට පස්සේ ඉතින් එක්කෝ එකෙක් අනිකගේ පස්සෙන් ගිහින් හරි, ඉස්සරහින් බලා ඉඳලා හරි, පැත්තෙන් ගිහින් හරි, එහෙම නැතිනම් දෙන්නට දෙන්නා මුණගැහිලා හරි ආදරේ අඟවනවා. එතකොට ඉතින් ගොඩක් වෙලාවට අනික් කෙනා කැමති වෙලා ලව් එක පටන් ගන්නවා.
හැබැයි ඒ වගේම වෙන්න පුළුවන් දෙයක් තමයි, එක්කෙනෙක් අනිකව දැකලා හරි අහලා හරි ප්‍රේම සිත් ඇති කරගන්නවා. ඊට පස්සේ යාළු කරගන්න හිතාගෙන පස්සෙන් යනවා. හැබැයි අනික් කෙනාගේ හිතේ එහෙම කිසිම දෙයක් නෑ. එතකොට එක්කෝ අර පස්සෙන් ගියපු එකා වැඩේ අතෑරලා දාලා වෙන අතක් බලාගන්නවා. එහෙම නැතිනං උත්සාහවන්තයා ජය ගනී කියලා දිගින් දිගටම පස්සෙන් යනවා. හැබැයි ඉතින් එහෙම පස්සෙන් යන්න ගියහම අනික් කෙනාට ඒක වාතයක් වෙනවා.
දැන් අපි හිතමු ඒ අනික් කෙනා තමයි ඔයා කියලා. ඔන්න කොල්ලෙක් එනවා පස්සෙන්. ඔයා තමයි ඒ පස්සෙන් එන කොල්ලට අකමැති කෙල්ල. දැන් එතකොට ඔය ප්‍රශ්නෙන් බේරෙන්නේ කොහොමද හා?
ගෞරවය රකින්න, කාරුණික වෙන්න
අපි හැමෝම මිනිස්සු. අන්න ඒක අපි අමතක කරන්න නරකයි. ආන්න ඒ නිසා සාමාන්‍යයෙන් ඔය කෙල්ලෝ කරන සුලභ වැරැද්දක් වෙන, තමන්ගෙ ආදරේ ඉල්ලගෙන පස්සෙන් එන කොල්ලගෙ රෙදි ගලෝන වැඩේ කරන්න හොඳ නෑ. හැබැයි ගොඩක් කෙල්ලෝ ගොඩක් වෙලාවට කරන්නේ “අනී අර උලමගෙ වැඩේම මගෙ පස්සෙන් එනවා” කියලා යාළු කෙල්ලො සෙට් එකටත් කියලා, ඔෆිස් එකේ ඔක්කොටමත් කියලා ඊට පස්සේ ෆේස්බුක් එකෙත් දාන එක. කොල්ලෙක් තමන් බෑ කිව්වටත් පස්සේ කරදර කර කර පස්සෙන් එනවා නං ඒක විසඳන්න වෙනම ක්‍රමයක් තියෙනවා. එහෙම නැතුව කොල්ලෙක් පස්සෙන් ආපු ගමන් ඌට එපා කියන්නෙත් නැතුව උගේ ගෞරවේට කෙළින එක ගෑණු කමටත් හරි නෑ. අනික් එක, මොකෙක් වුණත් මනුස්සයෙක් කියන එක අමතක කරන්න හොඳ නෑ. ආන්න ඒ ස්ථාවරයේ ඉඳලා කාරුණික වෙන්න ඕන.
කෙලින් කතා
මෙන්න මේක සමහර වෙලාවට බොහොම අමාරු කාරණයක්. ඒ කියන්නේ, පස්සෙන් එන කොල්ලට ඔයා අකමැති බව කෙලින්ම කියන එක. හැබැයි මෙන්න මේ පියවර අතිශයින්ම අවශ්‍ය, අතිශයින්ම වැදගත් එකක්. එතනදී අදාළ පුද්ගලයා එක්ක බොහොම අවංක, කෙළින් කතාබහක් කරන්න. හැබැයි ඒ කියන්නේ පොල්ලෙන් ගැහුවා වගේ “තමුසේ මගෙ පස්සෙන් එන්න එපා” කියන එක නෙවෙයි. අර පළවෙනි පොයින්ට් එකේදී අපි කිව්වනේ කාරුණික වෙන්න ඕන කියලා. අන්න ඒක මතක තියාගන්න. හැබැයි තමන්ගේ කාරුණික සහ සුහදශීලී බව ග්‍රීන් ලයිට් එකක් කියලා හිතන්න පස්සෙන් එන කොල්ලට ඉඩ තියන්න එපා.
අනික් කාරණාව: මේ කෙලින් කතාවේදී බොරු, නොමඟ යවන සුළු කතන්දර නොකියන්න පරිස්සම් වෙන්න ඕන. හැබැයි එතනදී පොල්ලෙන් ගැහුවා වගේ ඇත්ත කියන එකත් අවදානම්. මොකද්ද ඒ හරුපේ? හරි, අපි කියමු අපි මනුස්සයට අකමැති එයාගෙ පෙනුමට කියලා. ඒක වෙන්න පුළුවන් දෙයක්නේ. එතකොට “මට කොල්ලෙක් ඉන්නවා අයියේ” වගේ බොරු බැක්ෆයර් වෙන්න පුළුවන්. හැබැයි එතනදී ඇත්තම ඇත්ත කියන්න බැහැනේ. ඒත් කියන්න පුළුවන් “අපි දෙන්නා ගැලපෙන්නෙ නැහැ කියන එකයි මගේ මතය, ඒ නිසා බැහැ” කියලා. ඒක බොරුවක් නෙවෙයිනේ.
කොල්ලන්ව ගඟේ අරින්න එපා, දත් ගලවන්නත් එපා
ගොඩක් වෙලාවට අපි උඩ මුලින්ම කියපු පොයින්ට් එකේ දේවල් සිද්ධ වෙන්නේ, සමහර ගෑණු ළමයින්ගේ තියෙන ඇරියස් නිසා. ඒ කියන්නේ, තමන්ගෙ පස්සෙන් මාර විදියට කොල්ලෝ එනවා කියලා පෙන්නන්න, එහෙම නැතිනම් තමන් මාරම කෙල්ලෙක් කියලා පෙන්නන්න, අනික් කෙල්ලො සෙට් එක අතර තැනක් ගන්න වගේ කාරණා වලට සමහර ගෑණු ළමයි තමන්ගෙ පස්සෙන් කොල්ලෙක් ආවොත් ඒක මාකට් කරනවා. ඒක වැරදියි.
ඒ වගේම තව ගෑණු ළමයි ඉන්නවා තමන්ගෙ පස්සෙන් එන කොල්ලෙක්ට තමන් කැමති නැති වුණත්, ඒ අකමැත්ත කෙලින්ම කියන්නෙත් නෑ. හැබැයි ආයෙ හිටු කියලා කොල්ලගෙන් ගාණ කපනවා. ආයෙ දත් දොස්තරලට ගලවන්න ඉතුරු නොවෙන්නම කොල්ලගේ දත් ගලවනවා. එව්වා නං පීචං වැඩ.
ෆ්‍රෙන්ඩ්සෝන්?
ගොඩක් වෙලාවට කෙල්ලෝ තමන්ගේ පස්සෙන් එන, හැබැයි තමන් අකමැති කොල්ලන්ට ලේසියටම කියන කතන්දරේ තමයි “අපි යාළුවෝ වගේ ඉමු”, නැතිනම් “මං ඔයාට කැමති යාළුවෙක් විදියටයි” කියන එක. ඕක කටට ආවට කියලා ඊට පස්සේ ඉතින් මොකද වෙන්නේ? අරුත් මීමා වගේ දැවටි දැවටි ඉන්නවා කවදාහරි චාන්ස් එකක් එයි කියලා. අපිත් සමහර වෙලාවට හිතන්නෙත් නැතුව ඌව පාවිච්චි කරනවා අපේ දුක්ගැනවිලි කියන්න වගේ වැඩවලට. ආන්න ඒක කරන්න එපා.
සමහර වෙලාවට අපි අකමැති වෙන්නේ මේ පස්සෙන් එන කොල්ලා එක්ක ලව් සීන් සම්බන්ධෙකට යන්න විතරක් වෙන්න පුළුවන්. ඒ කෙනා යාළුවෙක් විදියට හිටියට අපිට අවුලක් නැති වෙන්න පුළුවන්. ආන්න එතකොට පැහැදිලිව ඒක සන්නිවේදනය කරන්න. යාළුකමක් මිසක් අනාගතේදීවත් ලව් සීන් එකක් බලාපොරොත්තු වෙන්න බැහැ කියන එක කෙලින්ම කියන්න. හැබැයි ඒකට එයාගේ කැමැත්තත් අවශ්‍යයි. කැමති නැතිනම් කරුණාකරලා ෆ්‍රෙන්ඩ්සෝන් නොකර ඒ කොල්ලට යන්න දෙන්න.
ඒ වගේම මේ පස්සෙන් එන්නේ ඔෆිස් එකේ කොල්ලෙක් එහෙම නම්, අපිට ඒ කෙනා එක්ක ලව් එකක් හෝ යාළුපිට් එකක් අවශ්‍ය නොවුනත්, අපිට එයත් එක්ක එකට වැඩ කරන්න සිද්ධ වෙන්න පුළුවන්. ආන්න එතකොටත් බොහොම පැහැදිලිව ඔයාගෙ අදහස කියලා, ප්‍රොෆෙෂනල් සුහදතාවය තියාගන්න.
කරදර කරන්න ආවොත් එහෙමයි!
මෙන්න මේක තමයි ඉතින් ඔය පස්සෙන් එන කොල්ලෙක්ගෙන් වෙන්න තියෙන කරදරේ. මේ කරදර කිරීම කියන එක කියන දේ අහන්නෙ නැතුව නොකඩවා පස්සෙන් පැමිණීමේ ඉඳන්, “ඔයා නොලැබුණොත් මං මැරෙනවා” කීම දක්වා, එතකොට බ්ලැක්මේල් කිරීම්, ඔයාගෙ කාඩ් එක වටේටම පතුරු ඇරීම් වල ඉඳලා “උස්සනවා” කියලා තර්ජනේ කිරීම් දක්වා දීර්ඝ වෙන්න පුළුවන්. ආන්න එහෙම අවස්ථා ඕනම එකකදී අපිට දැඩි තීරණ ගන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම තමන් තනියෙන් ප්‍රශ්නේ විසඳන්න නොයෑමේ ඉඳලා, මේ ප්‍රශ්නය තමන්ගේ වැඩිහිටියෙක්ට දැනුම් දීම දක්වා දේවල්. ඒ වගේම, පස්සෙන් එන කොල්ලා කිරිමිනල් සීන් වලට, ඒ කියන්නේ තර්ජනය කිරීම් හෝ බ්ලැක්මේල් කිරීම් හෝ හිරිහැර කිරීම් වලට එනවා නම් ඊට එහාට, සමහර විට නීතියේ පිහිටට යන්න වෙනවා. එතකොට අර “අනේ එයත් මනුස්සයෙක්නේ” කියලා කරුණාවෙන් සැලකීම් තියාගන්න අවශ්‍ය නෑ. ඒ ගැන අපි පහළ වැඩි දුර කියලා තියෙනවා.
බලාපොරොත්තු දෙන්නත් එපා, දුන්නයි කියන්න තියන්නත් එපා!
මෙන්න තවත් පරිස්සම් වෙන්න ඕන තැනක්. සමහර වෙලාවට ඔයා කැමති නැති කොල්ලෙක් ඔයාගේ පස්සෙන් ඇවිත් ඇවිත්, අන්තිමට ඔයාට දෝෂාරෝපණය කරනවා ඔයා බලාපොරොත්තු දුන්නා කියලා. ආන්න එතනට ඉඩ තියන්න එපා. ඒ නිසා කෙනෙක් අපේ පස්සෙන් එනවා නම් උඩින් කියලා තියෙන විදියට කාරුණිකව, හැබැයි බොහොම ස්ථිරව කෙලින් කතා කරලා ඒ ප්‍රේමාරාධනාව ප්‍රතික්ෂේප කරන්න. එහෙම නැතුව “අපි ඉගෙනගෙන ඉවර වුනහම බලමු”, “ඔයා හොඳ රස්සාවක් කරන දවසකට බලමු” වගේ අනියමාර්ථයේ අසම්භාවය කතන්දර කියලා බොරු බලාපොරොත්තු දීලා මග අරින්න ලැහැස්ති වෙන්න එපා.
අනික් අතට, අපි අකමැති කෙනෙක් අපේ පස්සෙන් එනවා නම්, ඒ කෙනා එක්ක ගනුදෙනු කිරීම පරෙස්සමෙන්, මොළේ කල්පනා කරලා කරන්න ඕන කියන එකත් මතක තියාගන්න ඕන. ඒ වගේම, කිව යුතු දේ හැකිතාක් ඉක්මනට කෙලින් කියන්න අවශ්‍ය වෙන්නෙත් ඒ නිසාමයි. ඒ කියන්නේ අපි බලාපොරොත්තු දුන්නා කියන චෝදනාවෙන් මිදීම සඳහාමයි. ඒ නිසා, කෙනෙක් අපේ ආදරේ බලාපොරොත්තුවෙන් පස්සෙන් එනකොට ඒක නොදැනෙන ගොනෙක් වගේ “ආනේ යාළුකමටනේ අනේ” කිය කියා ඉන්න එපා. ඉඟි තේරුම් ගන්නත් පුරුදු වෙන්න.
තනියෙන් ප්‍රශ්න විසඳන්න එපා
මේක ඉතාමත්ම වැදගත් කාරණාවක්. ගොඩක් වෙලාවට ගැහැණු ළමයි අකමැතියි කොල්ලෝ සම්බන්ධ කාරණා වලදී වැඩිහිටියන්ව සම්බන්ධ කරගන්න. ඒ වෙනුවට ගෑණු ළමයි තමන් තනියෙන්ම ප්‍රශ්නේ විසඳන්න උත්සාහ කරනවා. එහෙම නැතිනම් යාළුවෙක්ව සම්බන්ධ කරගෙන ප්‍රශ්නේ විසඳන්න හදනවා. මේක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම ආදරේ ඉල්ලගෙන පස්සෙන් එන මනුස්සයෙක් අපි කලිනුත් කියපු විදියට කරදර කරන්න එහෙම ආවොත් ඒක තමන්ටවත්, යාළුවෙක්ටවත් හරි විදියට විසඳන්න බැරි වෙන්න පුළුවන්. ආන්න ඒ වගේ වෙලාවකට වඩාත් හොඳ දේ තමයි වගකීම් සහගත වැඩිහිටියෙක්ව සම්බන්ධ කරගන්න එක. සමහර වෙලාවට මේක තර්ජනය කිරීම්, බ්ලැක්මේල් කරන්න උත්සාහ කිරීම් දක්වා ගියොත් එහෙම නීතියේ පිහිට පතන්නත් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒකට බය වෙන්න එපා. නීතිය තියෙන්නේ අපිට පිහිට වෙන්න තමයි.
කොහොමත් සමහර එපා කරපු එවුන් ඉන්නවා කෙල්ලෙක්ගෙන් ආදරේ ඉල්ලලා ලැබුණෙ නැති වුණහම ඒ කෙල්ලගේ ජීවිතේට දාර ඇණ වෙන්න එන. ආන්න ඒ ජාතියේ කොල්ලො එක්ක කොහොමද ඩීල් කරන්නෙ කියලත් අපි ඉදිරියේදී බලමු.
Post a Comment