zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

දහවල හා රාත්‍රිය සදාකාලික, පෘථිවියට සමාන විශාලත්වයකින් යුතු පිටසක්වළ ග්‍රහලොවක් සොයා ගැනේ

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

අපගේ හිරු මෙන් සිය ගුණයක පැවැතුම් කාලයක් ඇතැ යි උපකල්පනය කෙරෙන, ප්‍රමාණයෙන් කුඩා තාරකාවක් වටා ගමන් කරන පෘථිවියට සමාන විශාලත්වයකින් යුතු නව පිටසක්වළ ග්‍රහලොවක් සොයාගැනීමට තාරක‍ා විද්‍යාඥයන් සමත් ව සිටිනවා.

Speculoos-3b ලෙස නම් කර ඇති මේ නව පාෂාණමය ග්‍රහලොව පිහිටන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 55ක් ඈතින්. අපගේ සූර්යයාගේ උෂ්ණත්වය මෙන් අඩක උෂ්ණත්වයකින් හා සිය ගුණයකින් අඩු දීප්තියකින් ද යුතු වන සිසිල් රතු වාමන තාරකාවක් මේ ග්‍රහලොවේ මව් තාරකාව වනවා. විද්‍යාඥයන් අනාවරණය කරගෙන ඇති පරිදි Speculoos-3b සෑම පෘථිවි පැය 17කට වරක් සිය මව් තාරකාව වටා එක් වටයක් සම්පූර්ණ කරනවා. එනම් එම ග්‍රහලොව මත එක් වසරක් පෘථිවි දින 17කින් සම්පූර්ණ වනවා.

පෘථිවි දින 17කට වරක් නව වසරක් උදා වුවත් ඒ ග්‍රහලොව මත දිවා කාලය සහ රාත්‍රී කාලය සදාතනිකයි. එයට හේතුව එහි භ්‍රමණය ද පරිභ්‍රමණයට ම සරිලන පරිදි සමමුහුර්ත වී තිබීමයි. “අපි විශ්වාස කරනවා මේ ග්‍රහලෝකය කරකැවෙන්නේ සමමුහුර්ත ලෙසින් බව. එනිසා දිවා මුහුණත ලෙස හඳුන්වන ප්‍රදේශය සැමවිට ම මුහුණ දී සිටින්නේ මව් තාරකාව දෙසටයි. එය සැමවිට ම පෘථිවියට දිස් වන්නේ චන්ද්‍රයාගේ එක් පසක් පමණක් වීමට සමානයි. අනෙක් අතට බලන විට රාත්‍රි පැත්ත ගිලී පවතින්නේ අනවරාග්‍ර අන්ධකාරයකටයි.” නව ග්‍රහලොව සොයාගැනීමෙහි ලා අධ්‍යයනයේ නිරත වූ එහි කතු බෙල්ජියමේ Liège විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යාඥ Michaël Gillon සඳහන් කරනවා.

පාෂාණමය ග්‍රහලෝක හතකට හිමිකම් කියන, ආලෝක වර්ෂ 40ක් ඈතින් ඇති Trappist-1 තාරකා පද්ධතියේ සොයාගැනීමෙන් පසු මෙවැනි ආකාරයේ රතු වාමන තාරකාවක් වටා යන පාෂාණමය ග්‍රහලෝකයක් සොයා ගත් පළමු අවස්ථාව මෙයයි.

විද්‍යාඥයන් Speculoos-3b හඳුනාගෙන තිබුණේ එය සිය මව් තාරකාව ඉදිරියෙන් ගමන් කරන විට තාරකාව යම් කිසි සුළු කාලයකට ආවරණය කරමින් ඉන් නිකුත් වන දීප්තිය අඩු කිරීම හෙවත් ‘ග්‍රහණය’ හේතු කොටගෙනයි. මේ නිරීක්ෂණය සඳහා අධී ශීත වාමන තාරකා පද්ධති නිරීක්ෂණය සඳහා යොදා ගැනෙන, ලොව පුරා ස්ථාපිත Speculoos රොබෝටික දුරේක්ෂ ජාලයේ සහාය ලැබී තිබෙනවා.

The Guardian ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!