zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ප්‍රථම වරට තනි මිනීමරු තල්මහෙක් ග්‍රේට් වයිට් මෝරෙකු මරා දමයි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

විනාඩි දෙකක් වැනි කෙටි කාලයක් තුළ දී ඔර්කා හෙවත් මිනීමරු තල්මහෙක්, ග්‍රේට් වයිට් මෝරෙකු මරා බුදින අවස්ථාවක් පටිගත කිරීමට විද්‍යාඥයන් සමත් ව සිටිනවා. මිනීමරු තල්මහ රංචු වශයෙන් ග්‍රේට් වයිට් මෝරුන් සමග සටන් වැද මරා දමන අවස්ථා තිබුණත් තනි ව ගොදුරු කරගත් අවස්ථාවක් මෙසේ නිරීක්ෂණය කර ඇත්තේ පළමු වැනි වරටයි. ඒ අනුව මුහුදේ භයානක ම විලෝපිකයා ලෙස සැලකෙන ග්‍රේට් වයිට් මෝරකු මරා දැමීමට ඔර්කා මසුන් හට රංචු ගැසීම අත්‍යවශ්‍ය නො වන බව පෙනී යනවා.

මාර්තු 01 වැනි දා African Journal of Marine Science ජර්නලයේ පළ වූ අධ්‍යයන වාර්තාවකින් විද්‍යාඥයන් සනාථ කරන්නේ සිය කණ්ඩායමේ සහයෝගයකින් තොර ව, තනි ඔර්කාවකු (Orcinus orca) විසින් ග්‍රේට් වයිට් මෝරෙක් (Carcharodon carcharias) මරා දැමුණු බවට වාර්තාගත ප්‍රථම අවස්ථාව මෙය බවයි.

අධ්‍යයන වාර්තාව පළ වූයේ ඉකුත් දා වුවත් මෙම සිදු වීම නිරීක්ෂණය කර තිබුණේ පසුගිය වසරේ ජූනි මාසයේ දිනකයි. දකුණු අප්‍රිකාවේ සීල් දූපතට දකුණින් සංචාරක යාත්‍රාවක සිටි පර්යේෂකයන් ඔර්කාවන් දෙදෙනෙකු නිරීක්ෂණය කර තිබුණා. ඒ එම සාගර කලාපය තුළ ග්‍රේට් වයිට් මෝරුන්ට පහර දී යම් ප්‍රසිද්ධියක් උසුලා සිටි පෝට් සහ ස්ටාබෝඩ් ලෙස නම් ලබා තිබූ මිනීමරු තල්මහ දෙදනා බව ඔවුන් හඳුනාගත්තා.

ඔර්කාවන් ගැවසුණු ස්ථානය අසලට ගිය පර්යේෂකයන්ට දක්නට ලැබුණේ තෙල් වැනි යමක් සාගර ජලයේ පා වෙමින් තිබෙන බවයි. ඒ සමග කටුක ගන්ධයක් ද වහනය වෙමින් තිබූ අතර ඒ මෝර අක්මාවේ ගන්ධය බව ඔවුන් වටහාගත්තා. පර්යේෂකයන්ගේ උපකල්පනය වූයේ ඔවුන් මෙහි පැමිණෙන්නට පෙර ඔර්කා යුගලය එක් ව මෝරෙකු මරා දමා ඇති බවයි.

පැයක පමණ කාලයකට පසු අඩි අටක පමණ දිගින් යුතු ග්‍රේට් වයිට් මෝරෙකු පිහිනමින් පැමිණි අතර ඌ පසුපස ස්ටාබෝඩ් ලුහුබඳින බව නිරීක්ෂණය වී තිබුණා. “මිනීමරු තල්මහ, ග්‍රේට් වයිට් මෝරාගේ ළය වරලෙන් තල්ලු කරමින් ඌට තඩිබෑවා” අධ්‍යයනයේ ප්‍රධාන කතුවර සාගර ජෛවවිද්‍යාඥ Alison Towner සඳහන් කරනවා.

සුළු මොහොතකින් ග්‍රේට් වයිට් මෝරාගේ ළය වරලෙන් අල්ලා සොලවා හරිමින් උගේ අක්මාව පිහිටා ඇති ස්ථානය විවර කරගන්නට ස්ටාබෝඩ් සමත් ව තිබුණා. තවත් විනාඩි කිහිපයකට පසු මෝර නිරීක්ෂණ කූඩු පහත් කර ඇති යාත්‍රාවක් නිරීක්ෂණය කර තිබුණේ ලේ වැකුණු පීච් පැහැති අක්මා කොටසක් මුවෙන් ගෙන ඔවුන් පසුකර පිහිනා යන ස්ටාබෝඩ්වයි. සංචාරක නැවේ සිටි පර්යේෂකයන් මෝරාගේ අක්මාව ඩැහැගන්නා අයුරු දැක නො තිබුණේ එය දිය යට දී සිදු වී තිබූ නිසයි. සටන සිදු වන අවස්ථාවේ ස්ටාබෝඩ්ගේ සගයා වූ පෝට් මීටර 100ක් පමණ ඈතින් රැඳී සිටිනු නිරීක්ෂණය වී තිබුණා. ග්‍රේට් වයිට් මෝරා මරා දැමීම සඳහා ඔහුගෙන් උදව්වක් ස්ටාබෝඩ් වෙත ලැබී තිබුණේ නැහැ.

ඔර්කාවන් හෙවත් මිනීමරු තල්මහ, මෝර අක්මා කෑමේ අභිරුචිය මෑත කාලීන ව ඇති වී තිබෙන නව හැසිරීම් රටාවක් බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. මේ හේතුවෙන් අපරාජිත විලෝපිකයන් වූ ග්‍රේට් වයිට් මෝරුන් හට සිය දඩබිම් සාගර කලාප අත් හැර යාමට තරම් නරක කල දසාවක් උදා වී තිබෙනවා.

Live Science ඇසුරෙනි.

සෞන්දර්ය සෙනරත්

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!