zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

‘සයිබර් කිඩ්නැපිං’

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රිගම්හි හිමෙන් වැසී ගිය කඳු පාමුල කැණියම් මත කූඩාරමක සිටිය දී දින කිහිපයක සිට අතුරුදන් ව සිටි උසස් පාසල් සිසුවෙකු සොයාගන්නට රිවර්ඩේල් පොලිස් බලධාරීන් සමත් වූ පුවතින් ඉකුත් දින කිහිපය පුරා පුවත් වෙබ් අඩවි යට වී තිබුණා. හුවමාරු ක්‍රමවේදයක් යටතේ ඇමරිකාවේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි Kai Zhuang නම් චීන ජාතික සිසුවා ඉන් දින කිහිපයකට පෙර සිය අනුග්‍රාහක පවුලට නො දන්වා හිටි වන ම අතුරුදන් වී තිබුණා. ඒ ‘සයිබර් පැහැරගැනීමක’ ගොදුරක් බවට පත් වෙමින්.

චීනයේ වෙසෙන ඔහුගේ දෙමාපියන් පොලීසියට පවසා තිබුණේ අපරාධකරුවන් සිය දරුවා පැහැරගෙන ඇති බව දන්වමින් නිරුපද්‍රිත ව නිදහස් කිරීමට කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කළ බවයි. කප්පම් මුදල වශයෙන් ඔවුන් ඩොලර් 80,000ක මුදලක් චීනය තුළ ඇති බැංකු ගිණුමක තැන්පත් කර තිබුණා. රිවර්ඩේල් පොලීසිය සඳහන් කරන්නේ ‘සයිබර් පැහැරගැනීමක’ ගොදුරක් බව‍ට පත් වූ සිසුවා එම අපරාධකරුවන් විසින් දුරස්ථ ව මෙහෙයවෙමින් මිනිස් වාසයෙන් දුරස් වන්න‍ට ඇති බවයි.

මේ සිදු වීම සමගින් ‘සයිබර් පැහැරගැනීම්’ හෙවත් ‘cyber kidnapping’ යන යෙදුමට සිතා සිටියාට වඩා බරක් දිය යුතු බව පෙනී ගොස් තිබෙනවා. ඇත්තෙන් ම ‘සයිබර් පැහැරගැනීමක්’ යනු කුමක් ද, එය සිදු වන්නේ කෙසේ ද යන්න විමසිය යුත්තේ මේ නිසයි.

FBI සඳහන් කරන පරිදි එය ත්‍රාසාද්ග්‍රහණ කූට උපක්‍රමයක්. එය සාමාන්‍ය පැහැරගැනීම් සිද්ධියකින් වෙනස් වන්නේ එහි වින්දිතයා භෞතික වශයෙන් පැහැරගැනීමකට ලක් නො වන බැවිනුයි. එහි දී සිදු වන්නේ සිය පවුලේ සාමාජිකයෙකු පැහැරගෙන ඇති බවත්, තමා ලබා දෙන උපදෙස් පරිදි ක්‍රියා නො කළ හොත් ඔහුගේ හෝ ඇයගේ ජීවිතය අනතුරේ වැටෙන බවත් පවසා බලහත්කාරයෙන් වින්දිතයාගේ හැසිරීම පාලනය කිරීමයි. එය යම් පුද්ගලයෙකු අතුරුදන් වූ බවට සමාජය නො මඟ යැවීමක්.

රිවර්ඩේල් සිදු වීමේහි ඇති සුවිශේෂත්වය වන්නේ අපරාධකරුවන් විසින් යමෙකු පැහැරගත් බවට ඒත්තු ගන්වා වින්දිතයන් දෙපාර්ෂ්වය ම – Kai Zhuang එක් අන්තයකිනුත්, ඔහුගේ දෙමාපියන් එක් අන්තයකිනුත් – බිය වැද්දීමයි. යුටා වැලි විශ්වවිද්‍යාලයේ ජාතික ආරක්ෂණ අධ්‍යයන පිළිබඳ විශේෂඥයකු වන Brandon Amacher සඳහන් කරන්නේ එය ඇස්බැන්දුමකින් මුදල් වංචාකරන්නාක් බඳු දෙයක් බවයි.

මෙය සිදු කරන අපරාධකරුවන් සිය අපරාධයේ මූලික සැලසුමේ දී තමාගේ ‍ගොදුර විය යුතු බවට තොරාගත් පුද්ගලයා හා පවුලේ සමීපතමයන් පිළිබඳ හැකි උපරිමයෙන් තොරතුරු රැස්කර ගන්නවා. ඉන් වඩා ශක්තිමත් කූ‍ට සැලසුමක් තනාගැනීමට අවසාථාව සැලසෙනවා මෙන් ම සිය ගොදුර නො මඟ යැවිය හැකි දුර්වල තැනක් හඳුනා ගැනීමට ද හැකියාව ලැබෙනවා.

Amacher පෙන්වා දෙන පරිදි එක් එක් සයිබර් පැහැරගැනීමට අදාළ ව නිරීක්ණය කළ හැකි ලක්ෂණ වෙනස් විය හැකියි. බොහෝ වි‍ට සිදු වන්නේ පැහැරගත් බවට මුලා කෙරෙන පුද්ගලයාගේ හඬ ඇතුළත් ඉල්ලීමක් හෝ නො එසේ නම් ඔහුගේ හෝ ඇයගේ කටහඬ පසුබිමෙන් ඇසෙන පරිදි සැකසූ හඬ පටයක් අනෙක් අන්තයේ සිටින වින්දිතයාගේ ඥාතියා වෙත යැවීමයි. ඉහත සඳහන් කළ සිදු වීමේ දී සිසුවාට තර්ජනය කර කූඩාරම තුළ සිර වී සිටින පරිදි ලබාගත් ඡායාරූපයක් ඔහු ලවා ම ගෙන්වාගෙන දෙමාපියන් වෙත යැවීමට අපරාධකරුවන් කටයුතු කර තිබුණා.

ඇමරිකාවේ හිටපු පොලිස් උප ප්‍රධානියකු මෙන් ම වත්මන් ස්වාධීන විමර්ශන නිලධාරියෙකු ද වන Chris Bertram සඳහන් කරන්නේ සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින කෘත්‍රිම බුද්ධිය මඟින්, සයිබර් පැහැරගැනීම් වඩාත් භයානක තැනකට රැගෙන යාමේ අවදානම ගැන තමන් කනස්සල්ලට පත් ව සිටින බවයි. සැබෑ නො වන මුත් එසේ පෙනෙන ඡායාරූප, වීඩියෝපට හා යමෙකුගේ හඬ අනුකරණය කරමින් නිර්මාණය වන හඬපට මේ වන විට පවා තිබෙන්නේ යථාලෝකයෙන් වෙන් කර හඳුනා ගැනීම අසීරු තරමේ දියුණු අවධියකයි. එවන් තත්ත්වයක් උඩ ළඟින් ම ආශ්‍රය කරන පුද්ගලයන් පවා තමාගේ ආදරණීයයෙකු යැයි කෘත්‍රිම බුද්ධියෙන් කළ අනුකරණයකට රැවටීමේ සම්භාවිතාව ඉහළ බවයි Bertram පෙන්වා දෙන්නේ.

වර්ථමානයේ දී යමෙකු යන එන ගැවසෙන තැන් එම තැනැත්තාගේ ම සමාජමාධ්‍ය ජාලා මඟින් ඕනෑ ම අයෙකුට පහසුවෙන් දැකබලා ගැනීමට හැකි වීම ද මෙවැනි සිදු වීම්වලට රුකුල් සපයන්නක් බව ද ඔහු අවධාරණය කරනවා. ඔහු ඉල්ලා සිටින්නේ කිසිම මොහොතක තමා තනි ව යන ගමන් බිමන් ගැන මාර්ග විස්තරයක් එවන් ඔන්ලයින් වේදිකා මත දිග නො හරින ‍ලෙසයි.

එසේ ම පවුලේ සාමාජකයන් අතර මේ කතා කරන්නේ අසවලා යැ යි නිට්ටාවට ම තහවුරු කරගත හැකි පරිදි රහස් කේත වචනයක් තබා ගැනීම එවන් අවස්ථාවක දී ප්‍රයෝජනවත් වනු ඇති බව FBI ආයතනය යෝජනා කරනවා.

සත්‍ය හෙට්ටිආරච්චි

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!