zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

Wi – Fi තාක්ෂණයට උපත දුන් “ ස්නෝ වයිට් ”

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

පසුගිය සියවසේ 30-40 දශකවල දී ඇය ප්‍රචලිත වූයේ ලොව වඩාත් ම රූමත් කාන්තාව ලෙසිනි. ඇමරිකානු සජීවීකරණ සිනමා ලොව බැබළවූ කීර්තිමත් භූමිකාවක් වන ස්නෝ වයිට් (Snow White) කුමරියගේ රුව නිර්මාණය කිරීමට ඇගේ රූමත් මුහුණ කදිම උත්තේජනයක් විය. ඒ කිසිවකටත් වඩා හොලිවුඩ් සිනමා අම්බරයේ ස්වර්ණමය යුගයෙහි දීප්තිමත් තාරකාවක් වූ ඇය මෙවන් ලිපියකට නිමිත්තක් වන්නේ “ Mother of Wi – Fi ” නමින් හැඳින්වීමට තරම් තාක්ෂණ ක්ෂේත්‍රයට දැක් වූ පුරෝගාමී දායකත්වය හේතුවෙනි.

හෙඩි ලැමාර් යන ජනප්‍රිය නාමයෙන් හඳුන්වන හෙඩ්විග් ඊවා මාරියා කීස්ලර් නම් වූ ඇය 1914 වසරේ නොවැම්බර් මස 9 වැනි දින ඔස්ට්‍රියාවේ වියානාහි උපත ලබන්නේ යුදෙව් පවුලක එක ම දරුවා ලෙසිනි.

තාක්ෂණික හා නව්‍යකරණ ලෝකය වෙත ඇගේ උනන්දුව ප්‍රබෝධමත් කළේ කුතුහලයෙන් පිරුණු බැංකු අධ්‍යක්ෂවරයෙකු වුණු ඇගේ පියා ය. මුද්‍රණ යන්ත්‍රය මෙන් ම වාහන එන්ජිම වැනි විවිධ යන්ත්‍රවල අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය ඔහු තම කුඩා දියණිය සමග සාකච්ඡා කළේ ඇය කැටුව ඇවිද ගිය දිගු චාරිකාවල දී ය.

මේ නිසා ම ඇය තම පස්වැනි වියේ දී ම සිය සංගීත පෙට්ටියේ ඇතුළත ක්‍රියාකාරිත්වය සැකසීමට පවා සමත් වූවා ය.

සිය ළමා වියේ දී ම සිනමාව හා වේදිකාවේ චමත්කාරයෙන් වශී වුණු ඇය රංගනය පිළිබඳ ව දැක්වූ උනන්දුව නිසා ම සිය දොළොස්වැනි වියේ දී ම රූ රැජින තරගයකින් ජය ගත්තා ය.

ඇගේ ආකර්ෂණීය රූපය ජර්මන් ජාතික සිනමාකරුවෙකු වූ මැක්ස් රෙයින්හාට්ගේ අවධානයට ලක් විය. එනිසා ම ඔහුගේ අධ්‍යක්ෂණයක් වූ Money on the Street නම් ජර්මානු සිනමා පටයෙන් 1930 වසරේ දී සිය මුල් ම රංගනයට හෙඩි ලැමාර් දායක වූයේ 16 වැනි වියේ දී ය. ඉන් ඇරඹුණු ඇගේ සිනමා දිවියේ ඇය මුලින් ම ජාත්‍යන්තර අවධානයට ලක් වීමට හේතු වන්නේ චෙක් ජාතික සිනමාකරු ගුස්ටාෆ් මචාටි විසින් 1933 වසරේ දී නිර්මාණය කෙරුණු Ecstasy නම් සිනමා කෘතියේ ඇය සිදු කළ ප්‍රබල රංගනයයි.

එවකට 18 වැනි වියේ පසු වූ ඇය එම සිනමා පටයෙහි පෙනී සිටි සමීප නිරුවත් දර්ශන සහ සුරතාන්තයක ප්‍රහර්ෂය සිය හැඟුම්බර මුහුණින් අපූර්ව ලෙස පිළිබිඹු කළ උද්වේග කාරී රංගනය නිසා එය ජාත්‍යන්තර කීර්තියට මෙන් ම දැඩි විවේචනයට ද ලක් විය.

එනිසා ම 1934 වසරේ දී වෙනිස් සිනමා උළෙලේ දී හොඳ ම අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන ලද Ecstasy සිනමා කෘතිය එක්සත් ජනපදය සහ ජර්මනිය තුළ තහනම් කෙරුණි.

සිය ජීවිත කාලය තුළ සය වරක් විවාහ වී අවසානයේ හුදෙකලා දිවියක් ගෙවූ ඇගේ මුල් ම විවාහය සිදු වන්නේ ද 1934 වසරේ දී ය. එවක ඔස්ට්‍රියාවේ සිටි තෙවැනි ධනවතා මෙන් ම යුද අවි නිෂ්පාදකයකු හා අලෙවිකරුවෙකු වූ 33 වියැති ෆ්‍රෙඩ්රිච් මැන්ඩි 18 හැවිරිදි ඇගේ සැමියා විය.

ඉතාලියේ ආඥාදායක පාලකයා වූ බෙනිටෝ මුසෝලිනි සහ ජර්මන් නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් සමග සමීප සම්බන්ධතා පැවැත් වූ මැන්ඩි යුද අවි තාක්ෂණය පිළිබඳ විද්‍යාඥයන් සහ විශේෂඥ වෘත්තිකයන් සමග කළ ව්‍යාපාරික හමුවීම්වලට හෙඩි ලැමාර් සහභාගි කර ගැනීමට අමතක නො කළේ ය.

සැබවින් ම එම රැස්වීම් තුළින් ව්‍යවහාරික විද්‍යා ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධයක් ඇය ලබාගත් අතර එමඟින් ඇගේ පසුකාලීන විද්‍යාත්මක නිපුණතාවයන් පෝෂණය කිරීමට මඟ පෑදුණි.

දෙවෙනි ලෝක යුද්ධයේ ආරම්භයත් සමග ජර්මනිය විසින් ඔස්ට්‍රියාවේ යටත් කර ගැනීමෙන් අනතුරුව යුදෙව් සම්භවයක් තිබූ ඇය එක්සත් ජනපදයට යාමෙන් තම රංගන දිවියට බාධක දැමූ පළමු සැමියාගෙන් පමණක් නොව යුදෙව් ප්‍රජාවට එරෙහි නාසි භීෂණයෙන් ද ගැලවීමට සමත් වූවා ය. 1937 වසරේ දී තම සැමියාගෙන් වෙන් වූ ලැමාර් ලන්ඩනයට පැමිණි විට එහි දී MGM (Metro Goldwyn Mayer) ඇමරිකානු සිනමා හා රූපවාහිනී සමාගමේ සමාරම්භකයකු වූ වී බර්ට් මේයර් මුණ ගැසුණි. ඇගේ මුල් නම හෙඩි ලැමාර් ලෙස වෙනස් කරන ලද්දේ ඔහු විසිනි.
1938 වසරේ දී ඇය හොලිවුඩ් වෙත රැගෙන ගිය ඔහු ඇය ලොව වඩාත් ම රූමත් කාන්තාව ලෙස හඳුන්වා දුන්නේ ය. එහි දී ඇමරිකානු ගුවන් අභ්‍යවකාශ ඉංජිනේරුවකු හා නියමුවකු මෙන් ම සිනමාකරුවෙකු ද වූ හොවාඩ් හියුස් හට ඇය හඳුන්වා දෙන ලදි. ඔහු ඇය තම ගුවන් යානා නිෂ්පාදන කම්හල් වෙත රැගෙන ගොස් එම ක්‍රියාවලියට දායක වන විද්‍යාඥයන් ඇයට මුණ ගස්වා ගුවන් යානා තැනීම පිළිබඳ අවබෝධයක් ඇය තුළ ඇති කිරීමට සමත් විය.

එක්සත් ජනපද හමුදාවට අලෙවි කළ හැකි වඩා වේගවත් ගුවන් යානා තැනීමේ නවෝත්පාදන උත්තේජයක් ඇය තුළ රෝපණය කිරීමට එය හේතු විය.

මත්ස්‍යයන් සහ පක්ෂීන් පිළිබඳ ව ලියැවුණු පොත් දෙකක් සොයාගත් ඇය වේගයෙන් පිහිනා යන මසුන්ගේ වරල් මෙන් ම වේගයෙන් පියාඹන පක්ෂීන්ගේ පියාපත්වල හැඩයන් ඒකාබද්ධ කර හියුස්ගේ ගුවන් යානාවල ඇති තටුවල හැඩය සඳහා නව සැලැස්මක් නිර්මාණය කිරීමට සමත් වූවා ය. ඇය තම සැලැස්ම හියුස්ට පෙන්වූ විට ඔහුගේ පිළිතුර වූයේ, “ You are a genius “ යන්නයි.

MGM සමාගමේ සිනමා නිෂ්පාදන වූ Lady of the Tropics, Boom Town, White Cargo ඇතුළු සිනමා කෘති කීපයක ම ප්‍රධාන භූමිකා නිරූපණය කළ හෙඩි ලැමාර්ගේ ඉහළ ම ජයග්‍රහණය වූයේ හීබෲ බයිබල් පුරාවෘත්තයක් පාදක කර ගනිමින් ඇමරිකානු සිනමාකරු සිසිල් බී. ඩිමෙල් විසින් 1949 වසරේ දී නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කළ Samson and Delilah සිනමා කෘතියයි.

හෙඩි ලැමාර් විසින් ඩිලයිලාගේ භූමිකාව නිරූපණය කරනු ලැබූ මෙම චිත්‍රපටය ඇකඩමි සම්මාන පහක් සඳහා නිර්දේශ වූ අතර ඉන් දෙකක් දිනා ගැනීමට සමත් විය. වේදිකාවේ මෙන් ම රූපවාහිනී මාධ්‍යය තුළ ද රංගවේදිනියක වූ හෙඩි ලැමාර්ගේ තිස් වසරකට ආසන්න සිනමා දිවියේ අවසන් රංගනය සනිටුහන් වූයේ 1958 වසරේ දී නිෂ්පාදිත  The Female Animal සිනමා පටයෙනි.

ඇගේ නිර්මාණාත්මක මනස පිළිබඳ ව ඇය පැවසුවේ විවිධ දෑ වැඩි දියුණු කිරීම පිළිබඳ අදහස් ස්වාභාවයෙන් ම තමන් වෙතට පැමිණෙන බවයි. වරෙක ඇය කොකා කෝලාවලට සමාන සෝඩා වැනි පානයක් පිළියෙළ කළ හැකි ජලයේ දිය වන පෙත්තක් නිර්මාණය කළා ය.
නාසි භීෂණයට එරෙහි ව දෙවැනි ලෝක යුද්ධයේ දී සටන් වැදි මිත්‍ර පාර්ශ්වය වෙනුවෙන් කිසියම් නිර්මාණයක් බිහි කිරීමේ අවශ්‍යතාව ඇය තුළ තිබුණි. අවසානයේ ඒ සඳහා සුදුසු ම නවෝත්පාදක සහායකයා ඇයට හමු වන්නේ එක්තරා රාත්‍රි භෝජනයක දී ය. ඔහු ඇමරිකානු පියානෝ වාදකයකු හා සංගීත නිර්මාණකරුවෙකු වූ ජෝර්ජ් ඇන්තෙයිල් ය.

ඒ අනුව ඇය ඔහු සමග එක් ව මිත්‍ර පාර්ශ්වයේ ටෝර්පිඩෝවලට ලබා දෙන රේඩියෝ සංඥාවන් සතුරු අක්ෂ පාර්ශ්වය මඟින් අවහිර කිරීම වැළැක්වීමට සමත් වන සංඛ්‍යාත පිනුම් (Frequency hopping) තාක්ෂණයක් නිර්මාණය කිරීමට සමත් වූවා ය. එමඟින් රේඩියෝ සංඥා සම්ප්‍රේෂකය සහ ආදායකය එක ම මොහොතක තම සංඛ්‍යාතයන් වෙනස් කිරීමට සමත් වන කේතයක් ඔවුන් විසින් නිර්මාණය කරන ලදි.
එවිට බාධාවකින් තොර ව තම ඉලක්ක වෙත යාමට ටෝර්පිඩෝවලට මග පෙන්විය හැකි නවතම සන්නිවේදන පද්ධතියක් හඳුන්වා දීමට ඔවුනට හැකි විය. ඔවුහු ඒ සඳහා එක්සත් ජනපද පේටන්ට් බලපත්‍රයක් ද ලබා ගැනීමට සමත් වූහ.

GPS සහ බ්ලූ ටූත් වැනි රැහැන් රහිත ව අද සිදු කෙරෙන සන්නිවේදන යාන්ත්‍රණවලට පදනම සැපයූ තාක්ෂණයක් හඳුන්වා දුන් හෙඩි ලැමාර් “ Wi-Fi තාක්ෂණයේ මව යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබීමට තරම් විශිෂ්ඨ නිර්මාණකාරියක වූවා ය.

2000 වසරේ ජනවාරි මස 19 වෙනි දින සිය 85 වෙනි වියේ දී මිය යන තෙක් ම ඇය තම අවසන් සිනමා රංගනයෙන් පසු දිගු කාලයක් ගත කළේ හුදෙකලා ජීවිතයකි.

ඇගේ මරණයට තෙවසරකට පෙර 1997 වසරේ දී හෙඩි ලැමාර් සහ ජෝර්ජ් ඇන්තෙයිල් දෙදෙන Electronic Frontier Foundation නම් ජාත්‍යන්තර සංවිධානයෙන් වාර්ෂික ව පිරිනමනු ලබන Pioneer සම්මානයෙන් පිදුම් ලැබූහ. ‘නිර්මාණකරණයේ ඔස්කාර් සම්මානය’ ලෙසින් ප්‍රචලිත BULBIE සම්මානය දිනාගත් ලොව ප්‍රථම කාන්තාව වූයේ ද ඇයයි.

ඇගේ ජන්ම භූමිය වූ ඔස්ට්‍රියාවෙන් නිර්මාණකරුවන්ට හා පේටන්ට්ලාභීන්ට පිරිනමන වික්ටර් කප්ලාන් පදක්කම ද ඇයට ප්‍රදානය කෙරුණි. 2019 වසරේ දී ඇයට ගෞරවයක් ලෙස 32730 Lamarr නමින් ග්‍රහකයක් නම් කරන ලදි.



Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!