zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

යකුන් අරග්ගත් දිවයිනේ ජනප්‍රවාදයේ සඳහන් අවතාර හත්කට්ටුව

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.
දිගු ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාව තුළ ජනප්‍රවාද වල එන කට කතා බොහොමයක් තියෙනවා. ඉතිහාස කතා වලත් අස්වාභාවික, අද්භූත සිදු වීම් බොහොමයක් ගැන විස්තර අඩංගුයි. මේවා අතිශයෝක්ති වර්ණනාද, සැබෑ වාර්තාද කියන එක අඳුනා ගන්නත් පහසු නැහැ. මේ නිසා ලංකාව කියන රටේ ඉතිහාසය කියන්නේ අද්භූත දේවල් වලින් පිරුණු එකක් කිව්වොත් වැරැද්දක් නෑ.
දැන් තියෙන තාක්ෂණයෙන් දියුණු සමාජය සහ පාසල් අධ්‍යාපනය එක්ක යක්කු ගැන සමාජයේ තිබ්බ විශ්වාසය බොහෝ අංශ වලින් ඈත් වෙලා ගිහින්. කැලෑබද ප්‍රදේශ වලට ආසන්නයෙන් තිබුණු ගම්මාන වල උදවියට ගමනක් බිමනක් යද්දී, නාන්න යද්දී, හේනට කුඹුරට යද්දී, දර කඩන්න යද්දී වගේ ඒ කාලේ ජන ජීවිතයට බද්ධ වුණු ක්‍රියාකාරකම් වලදී තනි වෙන්න සිදු වන අවස්ථා බහුලව තිබුණා. අද හැම තැනම ලයිට් පත්තු කරපු පාරවල් වගේම ළඟ ළඟ තියෙන ගෙවල් නිසා රෑකට වුණත් පාලු තැන් දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. නාගරීකරණය නිසා බොහෝ දෙනා එකිනෙකාට ලංව තමයි ජීවත් වෙන්නේ. (භෞතිකව ලං වුනාට ආධ්‍යාත්මිකව දුරස් වෙලා කියලත් පැහැදිලිව දකින්න තියෙනවා.)
කොහොම වුණත් ලංකාවේ හැම තැනම තත්වය මේ වගේ නෙවෙයි. ප්‍රධාන නගර වලට එපිටින් තියෙන ගම්මාන වල මේ වගේ දේවල් ගැන විශ්වාසයන් අදටත් ඉතුරු වෙලා තියෙනවා. ලංකාවේ නගරබදව වෙසෙන, තාක්ෂණික මෙවලම් නිතර පාවිච්චි කරන, විද්‍යාත්මක පැත්ත විතරක් විශ්වාස කරන අය තරමටම යාග හෝම, බලි තොවිල් බලාගෙන හැදුණු, “මෝහිණී” දකියි කියලා බයෙන් ජීවත් වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා.
ලංකාවේ ජනප්‍රවාද වලට අයත් වෙන යක්ෂයන් සහ වෙනත් අස්වාභාවික ජීවීන් ගැන අපි පොඩි විවරණයක් කරන්න හිතුවේ ඒ නිසයි. වැඩි දෙනා මේ අයගේ නම් අහලා තිබුණත් ලොකුවට විස්තරයක් නොදන්න නිසා ඒ ගැන දැනුවත් වෙන්න මේ ලිපිය උදව්වක් වේවි. මේවයේ ඇත්ත නැත්ත කොහොම වුණත් කාගේත් දැන ගැනීම සඳහා මේ වගේ කොතැනත් ජනප්‍රිය අවතාර 7ක් ගැන විස්තරයක් තමයි මේ කියන්න යන්නේ.


01 කිඳුරි


රෑ ජාමේ දොරට තට්ටු කරනවා ඇහුණොත් වැඩි දෙනෙක් හිතන්නේ හොරෙක් හතුරෙක්, මැරයෙක් හරි එහෙම නැත්නම් කුඩු කාරයෙක් හරි කියලා. ඒ හින්දා කවුරුත් මුලින් කතා කරලා බලලා සුදානම් පිට තමයි දොර ඇරලා බලන්නේ. නමුත් ගම්මුන් බොහෝ දෙනෙක් අතර මේ වගේ රෑ මැදියමේ ඇවිත් දොරට තට්ටු කරන අවතාරයක් ගැන ප්‍රසිද්ධයි. “කිඳුරි” කියලා නම දාල තියෙන මේ අවතාරය ගැබ්බර කාන්තාවක්ලු. පරණ තරහවක් නිසා තමයි මෙයා අවතාරයක් වෙලා සැරි සරනවා කියන්නේ. ඉතින් මෙහෙම රෑ දෙගොඩ හරියේ දොරට තට්ටු කරාම දොර ඇරලා බලන්නේ ගැහැණු කෙනෙක් නම් කිඳුරිගෙන් එයාට කිසි කරදරයක් නැහැ; තමන්ගේ පාඩුවේ නොපෙනී යනවා. නමුත් පිරිමි කෙනෙක් දොර ඇරියොත් නම් ඒ මනුස්සයාගේ අවසානය තමයි. එදා රෑ එළි වෙන්න කලින් කිඳුරිට අහු වුණු පිරිමි මනුස්සයා මළවුන් ලඟට ගිහින්!
මේ කිඳුරිට පිරිමි අය එක්ක තියෙන තරහ ගැන නම් කතා ගොඩයි. සමහරු කියන්නේ සල්ලාලයෙක්ට අහු වෙලා ගැබ්බර වුණු කාන්තාවක් සියදිවි හානි කරගෙන කිඳුරි වුණා කියලයි. සමහර අය කියන්නේ මෙයාගේ ස්වාමියා මෙයාව මරලා කියලා. තවත් කතාවක් තමයි පිරිමි අයට උපතේ ඉඳන් වෛර කරපු කාන්තාවක් මිය ගියාම මෙහෙම අවතාරයක් වුණා කියලයි. කොහොම වුණත් මේ කවුරුත් පිළිගන්න දේ තමයි රෑ මැදියමේ දොරට ගහනවා ඇහුණාම පිරිමි අය ගිහින් දොර ඇරලා බලන්න හොඳ නෑ කියන එක.
අපි කවුරුත් දන්නා මෝහිණී එක්ක සංසන්දනයක් කළොත් පිරිමි අයත් එක්ක තියෙන වෛරය කියන සමාන කම දකින්න පුළුවන්. ඉතින් මේ දෙන්නා සමහර විට හොඳම යාළුවො වෙන්නත් ඇති.


02.කළු කුමාරයා


තමන්ගේ පාඩුවේ ඉන්න ලස්සන කාන්තාවන්ට කරදර කරන අවතාර ගැන බොහෝ රටවල ජනප්‍රවාද වල දකින්න ලැබෙනවා (හැබැයි ඉතින් අවතාර වලටත් වඩා මේ වගේ දේවල් පිටිපස්සේ ඉන්නේ අපි අතරේම ඉන්න අසහනකාරයෝ). ලංකාවේ ඒ තැන හිමි කරගෙන ඉන්නේ කළු කුමාරයා තමයි. බොහෝ දෙනාගේ පිළිගැනීම මේ කළු කුමාරයා ඇත්තටම ඉස්සර හිටපු රජ කුමාරයෙක් කියලයි. තමන්ගේ තාත්තාගෙන් රජකම පැහැර ගන්න කුමන්ත්‍රණය කරලා අතටම අහු වුණු නිසා ඔහු සියදිවි නසා ගත්තලු. කොහොම වුණත් ඔහු කරපු පාප කර්මය නිසා යක්ෂයෙක් වෙලා. වෙලාවකට අනිත් අවතාර වලට වඩා කළු කුමාරයා ටිකක් වාසනාවන්තයි කියලත් හිතෙනවා. තමන්ගේ ජීවිත කාලය පුරාවටම ලස්සන ගැහැණු ළමයි එක්ක රමණය කරන්නනේ ඔහුට වෙලා තියෙන්නේ, ඒක පව් පඩිසන් දීමක් වෙන්න පුළුවන්ද? ඇත්තටම ගැහැණු ළමයින්ට තමයි බලාගෙන යද්දී පව් ගෙවන්න වෙලා තියෙන්නේ. මේ වගේ අමුතු විස්තර අනිත් ජනප්‍රවාද වලත් දකින්න පුළුවන්.
කතාවේ එන විදිහට කළු කුමාරයා කියන්නේ ගැහැණු ළමයි පස්සෙන් ඇවිත් බය කරන, එයාලාව පොළඹවා ගන්න වගේම අන්තිමේදී මරලා දාන අවතාරයක්. ඔහු කළු වුණත් හරිම කඩවසම් කියලත් කියවෙනවා. කැලෑවක හරි අඳුරු, පාලු තැනක හරි හැංගිලා ඉඳලා ලස්සන තරුණ ගැහැණු ළමයි සහ තනි වුණු කාන්තාවන් පොළඹවා ගන්න එක තමයි ඔහුගේ ක්‍රමය. මේ කාන්තාවන් කළු කුමාරයා එක්ක රමණයේ යෙදෙන අතරතුර ආශාවෙන් උමතු වෙලා තමන්ගේ බෙල්ල කපලා දාන්නම කියලා බල කරනවාලු. කළු කුමාරයත් එහෙම කියපු ගමන් ඒ කාන්තාවගේ බෙල්ල කපලා දානවලු!
කළු කුමාරයා ගැන කියවෙන ටිකක් වෙනස් කතාවකුත් තියෙනවා. මේ කළු කුමාරයාත් කලින් වගේම හරිම කඩවසම්, කළු පැහැයෙන් යුක්ත කෙනෙක්. හැබැයි මෙයාට ලස්සන කාන්තාවන් සහ විශේෂයෙන්ම ගැබිණි කාන්තාවන් එක්ක තියෙන්නේ කේන්තියක්. ඉතින් මේ වගේ අය තනියෙන් ඉන්න නාන තොටුපළවල එහෙම ඉඳලා ඔවුන්ව බය කරන එක තමයි මෙයාගේ වැඩේ. ගැබිණි කාන්තාවන් මුණ ගැහුණොත් මෙයා ඔවුන්ගේ බඩට අත තියනවා, එතකොට දරු ගැබ නැති වෙනවාලු. තමන් පාලනය කරපු රාජධානිය විනාශයට පමුණවපු රජ කුමාරයෙක් තමයි මෙහෙම කළු කුමාරයා වෙලා ඉන්නවා කියන්නේ. මිනිස්සු ඔහුගේ විනාශය නවත්වන්න මොන තරම් පඬුරු පුද කළත් බැරි වෙලා. ඉතින් ඒ පවට තමයි ඔහු කළු කුමාරයා වෙලා තියෙන්නේ.

03 රීරි යකා


රීරි යකා කියන්නේ ලංකාවේ ඩ්‍රැකියුලා කිව්වොත් නිවැරදියි. මෙයාටත් තියෙන්නේ ලේ බොන්න ලොකු පිපාසයක්. ලංකාවට ආවේනික වැම්පයර් කෙනෙක් වගේම ඔය හැම කතාවකටම වඩා සිය ගුණයක් බිහිසුණු යක්ෂයෙක්! ලංකාවේ ඉන්නවා කියන භයානකම යක්ෂයන්ගෙන් එක්කෙනෙක් වුණු රීරි යකා උතුරු ඉන්දියාවෙන් මෙහෙට ආපු කෙනෙක් කියලයි කියන්නේ. ඉන්දියාවේ මනුස්ස දෙමව්පියන්ට දාව උපත ලබපු මෙයා පොඩි කාලේ ඉඳන්ම සත්තු මරලා ලේ බොන්න පුරුදු වෙලා. මෙයා කොයි තරම් ලේ බොන්න පිපාසාවෙන් පෙළුනාද කිව්වොත් මිනිස්සු හැමෝම මෙයා යක්ෂ පැටියෙක් කියලා සැක කරන්න පටන් අරගෙන තියෙනවා.
රීරි යකා ගැන ඇඟ කිළිපොලා යන විස්තර අහන්න ලැබෙනවා. ගොඩක් ප්‍රදේශ වල පිළිගන්න විදිහට මෙයා අත් හතරක් තියෙන, ලේ වැගිරෙන වඳුරු මුහුණක් තියෙන ඇඟේ ප්‍රමාණයෙන් පුංචි යකෙක්. මේ යක්ෂයා ජීවත් වෙන්නේ සොහොන් සහ මිනී කනත්තවල් ආශ්‍රිතවලු. පෘෂ්ටිමත් හරකෙක් වගේ විශාල ශක්තියක් තියෙන රීරි යකා වල් ඌරෙක්ගේ පිටේ නැගලයි ඉන්නේ. අත් හතරේ ලේ වැගිරෙන තුරු මිරිකපු කුකුලෙක්, කඩුවක්, ලේ ගලන ගිරවෙක් සහ ලේ බේරෙන, පණ ගැහෙන මිනිස් ඔලුවක් තියනවා. මේක ඇහුවත් වැඩි දෙනා බය වෙනවා, ඉතින් රෑකට දැක්කා නම් කොහොමට තියේවිද?!
නමුත් කාලයේ තාලයට වෙනස් වෙලා රීරි යකා දැන් සොහොන් වල ගැවසෙනවා අඩුයිලු. වැඩිපුර කරන්නේ ලෙඩ රෝග හදවන එක තමයි. ලේ යකෙක් නිසා ලේ වලට සම්බන්ධ රෝග තමයි රීරි යකා බෝ කරන්නේ. ඉතින් රීරි යකා ගහපු මනුස්සයෙක් ඇඟ සුදුමැළි වෙලා, මුහුණේ ලේ කඳුලක් නැතිව, පරඬැලක් වගේ වෙනවා. මෙහෙම වුණාම සාමාන්‍යයෙන් කට්ටඬියා ඇවිත් මළ පිල්ලියක් දෙන්නම වෙනවා.
හරි විදිහට ප්‍රචාරණයක් ලැබුණා නම් ඩ්‍රැකියුලාට වඩා බොහොම හොඳ කතාවක් රීරි යකා ගැන ලියවෙන්න ඉඩ තිබුණා. විශේෂයෙන්ම එඩ්වඩ් කලන් වගේ දැන් කාලේ ජනප්‍රිය වැම්පයර්ලා රීරි යකාගේ අහලකින්වත් තියන්න බැරි වෙයි.

04.අං තියෙන වෘකයාගේ කතාව



මේ වෘක අඟක්ද? මේ ගැන හරියටම විශ්වාස නැති වුණත් ඉන්ටර්නෙට් එකේ සයිට් බොහොමයක ඇත්ත වෘකයන්ගේ අඟවල් විකුණන්න තියෙනවා. මේක අද්භූත බලයක් තියෙන වශියක් කියලා ප්‍රසිද්ධයි.
මේක කියවලා පුදුම හිතුණාද? ඇත්තටම සමහර වෘකයන්ට අං එන බවට විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙනවා. මේක වැඩි දෙනා නොදන්න කාරණාවක්. මේ වෘකයන්ගේ ඔලුව පිටිපස්සේ පුංචියට අඟක් හැදෙනවා. ඒ වගේම මේ අඟ දිගටත් වෘක ලොම් වැවිලයි තියෙන්නේ, මේක හරකෙක්ගේ වගේ එළියට නෙරාගෙන ආපු අඟක් නෙවෙයි. “නාරි කොම්බු” කියලා මේ වෘක අඟ සිංහල දෙමළ භාෂා දෙකෙන්ම හැඳින්වෙනවා. නැති වුණු දේවල් සොයා දෙන්න, නඩු හබ වලින් ජය ගන්න වගේම සිතන පතන දේ ඉටු කර දෙන්න මේ වෘක අඟවල් වලට අද්භූත බලයක් තියෙන බවට මේ කා අතරත් විශ්වාසයක් තියෙනවා.
මේ ගැන ඉන්දියාවේ සහ නේපාලයේ පවා විවිධ කටකතා නිර්මාණය වෙලා තියෙනවා. සමහරුන්ට අනුව මේ විදිහට අඟක් හට ගන්නේ වෘක රැලේ නායකයාට විතරයි. තවත් අය කියනවා වෘක රංචුව එකවර කෑ ගහන වෙලාවට මේ අඟ ටිකෙන් ටික වැඩෙනවා කියලා. මේ විදිහේ අඟක් ඇතුලෙන් ලෝම හට ගන්න හේතුව සහ එහෙම ලොම් වැවෙන්නේ කොහොමද කියන එක ගැන තවමත් හරි විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නැහැ. නමුත් මේකට බොහොම සරල විද්‍යාත්මක හේතුවක් තියෙන්න ඕන කියලා තමයි අපේ විශ්වාසය.
මේක ගූගල් එකේ සර්ච් කරලා බැලුවොත් (jackel horns කියලා සර්ච් කරන්න) බලාගන්න පුළුවන් වැඩි හරියක් ලැබෙන්නේ මේවා විකුණන අයගේ විස්තර කියන එක. වැඩි දෙනා තනිකරම බොරුකාරයන් වෙන්න ඇති, හැබැයි මේක ඇත්ත වුණත් අපිට හිතන්න යමක් නම් ඉතුරු වෙනවා. මේ මිනිස්සුන්ගේ ජීවන චර්යාව මොන වගේ ඇතිද? පේන විදිහට මේ මිනිස්සුන්ගේ වැඩේම නිකන් ඉන්න වෘකයන්ව හිස් කබල් හම ගහන එක වෙන්න ඇති…

05 මහ සොහොනා/මහසෝනා



මහ සොහොනා ගැන ජනප්‍රිය කතාවට අනුව මේ යක්ෂයාට වලහෙක්ගේ මුහුණ සහ කළු බල්ලෙක්ගේ ඇඟක් තියෙනවා. ඇඟේ ප්‍රමාණයෙන් පොඩි වුණත් විශාල ශක්තියක් තියෙන මේ යකා මිනිස්සු මරන්නේ අත දිග හැරලා කොන්ද මැද්දට පහර දීලා. මොන තරම් වේගයෙන් පහර දෙනවාද කියනවා නම් අතේ සලකුණ පැහැදිලිවම මිය ගිය කෙනාගේ පිටේ සටහන් වෙනවා. නමුත් අපි මේ ජනප්‍රවාදය ටිකක් ගැඹුරට හොයලා බැලුවා.
අපිට දැනගන්න ලැබුණු විදිහට මහ සොහොනා ගැන පොත පතේ සඳහන් වෙන්නේ දුටුගැමුණු රජතුමාට හිටපු දසමහා යෝධයන් ගෙන් එක්කෙනෙක් වෙච්ච ගෝඨයිම්බර යෝධයාගේ හොඳ යාලුවෙක් හැටියටයි. දස මහා යෝධයන් කියන්නේ බොහොම සවි ශක්තිය තියන යුධ වීරයන් බව අහලා ඇතිනේ. කොහොම නමුත් සටනකදී මොහුගේ සතුරා ඔහුගේ හිස සිඳල දැම්මා. මේ යෝධයා වලසුන් දඩයම් කරපු කෙනෙක් විදිහට ප්‍රසිද්ධ වුණු නිසා ඔහුව වල දාල තියෙන්නේ බෙල්ලට වලහෙක්ගේ හිස කොටස බද්ධ කරලා. එයින් පස්සේ යක්ෂයෙක් ලෙස උපත ලබපු මේ යෝධයා ගම් දනව් පුරා රාත්‍රියේ සැරිසරනවාලු. මේ විදිහට යන වෙලාවට තමන්ගේ ආවේශය පතුරවන්න ඔහු පාවිච්චි කරන්නේ කළු බල්ලන්ව. (ලංකාවේ මිනිස්සු කළු පාට බල්ලන්ට බය වෙන්න මේ කතාවත් හේතුවක්) ඒ වගේම තමන් යන මාර්ගයේ ඉන්න හැම කෙනෙක්වම මරලා දාන්නත් ඔහු දෙපාරක් හිතන්නේ නැහැ. මධ්‍යහන 12ට මිනියක් වළලන එක මහ සොහොනාට කරන ආරාධනාවක් කියලා සැලකෙන නිසා එහෙම නොවෙන්න ගම්මු බොහොම පරිස්සම් වෙනවා. තවත් කතාවක් තියෙනවා මහ සොහොනා කියන්නේ යක්කු 30,000ක හමුදාවක් ඉන්න යක්ෂ සෙන්පතියෙක් කියලා. මේ හැම යකෙක්ම පිරිමි අය එක්ක තරහයි, මහ සොහොනා අණ දුන්නාම ඔවුන්ට විවිධ කරදර කරන එක තමයි මේ යක්ෂ සොල්දාදුවන්ගේ රාජකාරිය.

06 යක් කුරුල්ලා – උළමා



මේ ඉන්නේ උළමා වෙන්න පුළුවන්ද? බඩේ තිත් තියන බකමූණු රාජාලියා අපේ මිනිසුන් හඳුන්වන උළමා වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේක තවම හරියටම තහවුරු වෙලා නැහැ.
මේකා නම් අනිත් ජනප්‍රවාද වලට වඩා බොහොම පැහැදිලි සාක්ෂි තියෙන සතෙක්. උළමා ගැන පළවුණු වාර්තා, සාක්ෂි වගේම පොත් පත් පවා දකින්න ලැබෙනවා. ලංකාවේ කැලෑ වල වෙසෙන උළමාගේ කෑ ගැසීම කියන්නේ මරණයක් ගැන ස්ථිර සාක්ෂියක් විදිහට කවුරුත් වගේ පිළිගන්නවා. මේ උළමාගේ, නැත්නම් යක් කුරුල්ලාගේ බිහිසුණු විලාපය ඇහුණා කියන්නේ ඒ ගමේ එදාම මරණයක් සිද්ධ වෙන එක කියලයි කියවෙන්නේ. මේ සතා ගැන ලියවුණු හැම වාර්තාවකම ගැහැණියකගේ බෙල්ල මිරිකද්දී යටිගිරියෙන් කෑ ගහනවා වගේ භයංකාර විලාපයකට සමානව මේ සතාගේ හඬ ලෑම ඇහෙනවා කියලා දක්වලා තියෙනවා.
මේ සතාගේ කෑ ගැහීම එක්ක බැඳුණු කතන්දර වුණත් ඒ කෑ ගැසීම තරමටම භයංකාරයි. මෙයින් එකකට අනුව තමන්ගේ භාර්යාව හොර සැමියෙක් තියාගෙන ඉන්නවා කියලා සැක කරපු මනුස්සයෙක් ඔවුන්ගේ කිරිකැටි දරුවාව (අනිත් සැමියාට දාව උපන් දරුවෙක් කියලයි සැක කරලා තියෙන්නේ) මරලා හොද්දක් හදලා බිරිඳ ගෙදර ආවම කන්න දුන්නාලු. බිරිඳත් සැකයක් නොහිතා මේ කෑම එක රස කර කර කෑවලු. ටිකක් වෙලා මෙහෙම කන අතරේ තමයි හොද්දේ තිබිලා තමන්ගේ දරුවාගේ ඇඟිල්ලක් හම්බ වෙලා තියෙන්නේ. මේක දැකලා කෝපයෙන් වගේම වේදනාවෙනුත් පිස්සු වැටුණු මේ කාන්තාව යටිගිරියෙන් විලාප දීගෙන කැලෑවට දිව්වාලු. කැලෑවේදී තමයි මෙයා උළමෙක් වෙලා තියෙන්නේ. උළමා කෑ ගහන වෙලාවට ඇහෙන්නේ මේ කාන්තාව යටි ගිරියෙන් කෑ ගහපු හඬ කියලා ජනප්‍රවාදයේ දැක්වෙනවා. තවමත් මේ කාන්තාව එදා කෑ ගහපු සද්දය කැලෑව පුරා දෝංකාර දෙනවාලු, ඒක ඇහෙන කාටත් එදාම මරණයක් ගැන අහන්න ලැබෙනවලු.
උළමා කියලා හඳුන්වන්නේ හරියටම මොන සතාද කියන එකත් තවම 100%ක් තහවුරු කරගෙන නැහැ. අනිත් අවතාර ගැන මොන කතා තිබුණත් උළමා කියන්නේ ඇත්තටම ජීවත් වෙන සතෙක්. කුරුළු විශේෂඥයන් වැඩි දෙනෙක්ගේ අදහස උඩ රූපයේ ඉන්න බඩේ තිත් තියන බකමූණු රාජාලියා (spot-bellied eagle owl) මේ උළමා වෙන්න පුළුවන් බවයි. නමුත් උළමා කියන්නේ ලංකා කඳු බකුස්සා, කැලෑ බකමූණු රාජාලියා, උකුසු රාජාලියා වගේම ලංකා ගිජු ලිහිණියා කියන සතුන්ගෙන් එකෙක් වෙන්නත් ඉඩ තියෙන බව සමහරුන්ගේ මතයයි.

07 මහ කොළ සන්නි යකා...



සන්නි යකුම නටන්න යොදා ගන්න මහ කොළ සන්නියේ වෙස් මුහුණක්. යක් රාජයා වගේම ඔහු යටතේ ඉන්න යක්ෂ සෙන්පතියන් 18 දෙනාවත් මේ වෙස් මුහුණෙන් දකින්න පුළුවන්. මේ බලියේ අරමුණ මේ යක්කු සේරම මෙල්ල කරගෙන යක්ෂ ලෝකයට පිටුවහල් කරලා යක්ෂයා වැහුණු පුද්ගලයාව සුවපත් කරන එකයි.
ලෙඩ රෝග හැදෙන්න යක්කු හේතු වෙනවා කියන එක ගම්බද ප්‍රදේශ වල වැඩි දෙනෙක් විශ්වාස කරනවා. (මේක පිළිගන්න නම් හරිම අපහසු දෙයක්) මේ ජනප්‍රවාදයට අනුව යක්කු 18ක් ඉන්නවා මිනිස්සුන්ට වින කරන. කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා මිනිස්සු ලෙඩ කරවන එක තමයි මේ යක්කුන්ගේ එකම අරමුණ. බඩේ අමාරුවක් හැදුණා කියලා දොස්තර කෙනෙක් ගාවට ගිහින් වැඩක් නැහැ, මොකද ඒක අමුක්කු සන්නි යකා ගේ වැඩක්. කන් ඇහෙන්නේ නැති වෙන්න හේතුව බිහිරි සන්නි යකා වැහෙන එක. මේ විදිහටම තාවකාලික මන්ද මානසිකත්වයට හේතුව පිස්සු සන්නි යකා වැහෙන එක කියලත්, අධෝ වාතය නිතර පිට වෙන්න හේතුව වාත සන්නි යකා කියලත් පිළිගැනෙනවා.
කොහොම වුණත් මේ ලෙඩ හදන යක්කු ටික යක් ගෝලයන් පිරිසක් කිව්වොත් නිවැරදියි. මේ යක් ගෝලයෝ 18 දෙනාම පාලනය කරන්නේ මහ කොළ සන්නි යකා හෙවත් මේ යක් පිරිසේ නායක යකා. අනිත් යක්කුන්ට වඩා බොහොම දරුණු වැඩ කරන්න මේ යක්ෂ රාජයා සමත්. ජනප්‍රවාද වලට අනුව බුදුන්ගේ කාලයේ හිටපු රජ කෙනෙක් තමන්ගේ බිසව අනාචාරයේ හැසිරීම නිසා මරා දාන්න නියම කරලා තියෙනවා. ඒත් ඇයව මරලා දාන අතරම දරුවෙක් වදලා. මේ ළදරුවා වැඩිලා තියෙන්නේ ඒ බිසවගේ (තමන්ගේ අම්මගේ, අහන්නත් එපා වෙනවා නේද?) මළකුණ ආහාරයට අරගෙනලු. මේ විදිහට මිනී මස් කාලා මේ ළදරුවා වැඩි වියට ඇවිත් මහ කොළ සන්නි යකා බවට පත් වුණාලු. ඊට පස්සේ මේ මහ කොළ සන්නි යකා අර රජතුමා රජ කරපු නගරය මුළුමනින්ම විනාශ කරලා පලි අරගෙන තියෙනවා. මේ නගරයට විනාශය ගෙන එන්න උදව්වට ගන්න තමයි තමයි යක්ෂ ගෝලයන් 18ක් මවාගෙන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඇවිත් කරුණු පැහැදිළි කරන තුරු මේ කුඩා යක්ෂයන් මිනිස්සු දහස් ගාණක් ලෙඩ හදවලා මරලා දාල තමන්ගේ ස්වාමියාට කන්න දීල තියෙනවා.
ඒ විදිහට බණ ඇහුවාට පස්සේ මිනී මස් කන එක නතර කළත් තාමත් ඔවුන් ලෙඩ හදවන එක නම් නතර කරලා නැහැලු. මේ නිසා කට්ටඬියන්ටත් හොඳ ආදායම් මාර්ගයක් ලැබිලා තියෙනවා.
උණක් හෙම්බිරිස්සාවක් හැදුණාම ඒක වෛරස් එකක් නිසා වැළඳුණු බව හිතනවාට වඩා ඒක යකෙක් ගහලා සිද්ධ වුණු දෙයක් කියලා හිතන එකේ අමුතුම ගතියක් තියෙනවා. කොහොම වුණත් අපේ අදහස නම් මේ වෙලාවට වඩා සුදුසු වෙන්නේ දොස්තර කෙනෙක් හමු වෙන එක බවයි. ඔහු දෙන සිරප් එකක් හානිකර වෙන්න තියෙන ඉඩ හරිම අඩුයි, නමුත් කට්ටඬියන්ගේ වැඩ නිසා දරුණු ලෙඩ හැදුණු, මිය ගිය අය ගැන පවා අහන්න ලැබෙනවා.
කොහොම නමුත් මේ දේවල් අපේ සංස්කෘතිය එක්ක බද්ධ වෙලා තිබුණු දේවල්. හැම දේම හේතුවකට කරන්න ඕන කියලා හිතනවා නම් චාරිත්‍ර කියන දේවල් කරන එකේ කිසිම ප්‍රයෝජනයක් නැහැනේ. ඒ වගේම තමයි ඕනෑම ආගමක් ගත්තොත් අනිත් ආගම් අදහන අයට පිළිගන්න අමාරු අස්වාභාවික දේවල් සඳහන් වෙනවා. ඉතින් මේ දේවල් ගැන තර්ක කරනවා වෙනුවට, ඒවායේ ඇත්ත නැත්ත හොයනවා වෙනුවට ඒ හා බැඳුණු සංස්කෘතික සම්බන්ධය ගැන හිතලා මේ අපේ උරුමය කියන දේ ඔලුවට ගන්න එකත් බොහොම වැදගත් බව කියන්න ඕනේ.
ඉතින් මේ අවතාර ගැන තියෙන කතා වලත් තියෙන්නේ ඒ වගේ වටිනාකමක් බව අපි සිතට ගත යුතුමයි. මෝහිණී ගැන අහන්න ලැබෙන්නේ නැති එක වගේම යක් වෙස් මුහුණු දා ගත්තු බලියක් දකින්න නැති වෙන එක අපේ දියුණුවේ සංකේතයක් හැටියට දකින්න උත්සහ කරනව කියන්නේ අපිට කොහේ හරි වැරදිලා. රටේ ජන ජීවිතය වර්ණවත් කරන්න මේ හැම දෙයක්ම දායක වෙනවා. ඒ නිසා ඒ අදහස හිතට අරගෙන මේ කතා රස විඳින්න කියලත් ඔබගෙන් ඉල්ලනවා. අපිට නම් මේ කතා බොහොමයක් වෙනත් රටවල ලේඛකයන් නිර්මාණය කරපු හොල්මන් කතා වලට වඩා රසවත්,


ඔබටත් එහෙම හිතෙනවද? ඔබට හිතෙන දේත් අපේ  පොස්ට් එකේ  සටහන් කරන්න අමතක කරන්න එපා.

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!