zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

‘Bone War’ හෙවත් ‘අස්ථි යුද්ධය’ පිළිබඳ මතකාවර්ජනය

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



මේ කතාවේ කතා නායකයන් දෙදෙනෙකි. ඔත්නීල් චාල්ස් මාෂ් සහ එඩ්වඩ් ඩ්‍රින්කර් කෝප් යනු ඔවුන් ය. ඇමරිකානු ෆොසිල ගවේෂණයේ දිශානතිය වෙනස් කරන්නට ඔවුන් දෙදෙනාගෙන් ම සේවය සැලසිණ. ‍කුඩා කල සිට ම ස්වභාවික ඉතිහාසය පිළිබඳ ව උපන් පෙමින් යුතු ව ෆොසිල විද්‍යාඥයන් බවට පත් වෙමින් කලෙක හොඳ සගයන් දෙදෙනෙකු සේ ළඟින් ආශ්‍රය කළ ඔවුන් දෙදෙනා ඩයිනෝසෝර ෆොසිල සිය ගණනක් ලොවට දායාද කරමින් මිය යන විට පසු වූයේ එකිනෙකා කෙරෙහි උපන් ක්‍රෝධයෙනි. මෙසේ දිග හැරෙන්නේ ඔවුන්ගේත්, ඔවුන් පසුබිම් කොටගනිමින් ඇති වූ ‘Bone War’ හෙවත් ‘අස්ථි යුද්ධය’ පිළිබඳ මතකාවර්ජනයකි.

ඔත්නීල් චාල්ස් මාෂ් උපන්නේ 1831 දී නිව් යෝක් හි සිය දෙමාපියන් විසින් පවත්වාගෙන යනු ලැබූ ගොවිපොළේ දී ය. ඒ වන විට ‘Paleontology’ හෙවත් ‘පාෂාණධාතුවේදය’ යන වදන බිහි වී ගත ව තිබුණේ අවුරුදු නවයක් පමණකි. ඔහුට තෙවසරක් සම්පූර්ණ වන විට මවගේ වියෝව සිදු වූ අතර පියාට ඔහු ගැන තිබූ එක ම බලාපොරොත්තුව වූයේ ගොවිපොළ කටයුතු සඳහා සහායකයෙකු වශයෙන් සහභාගී කරවා ගැනීම පමණි. කෙසේ නමුත් කුඩා කල සිට ම විද්‍යාවට ඇල්මක් දැක් වූ මාෂ්ගේ ඉරණම යහපත් මඟක යන්නට ගත්තේ ඔහුගේ මිලියනපති මාමා වූ ජෝජ් පීබොඩිගේ අනුග්‍රහයෙන් යේල් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට වරම් ලැබීමත් සමඟයි. ඉන් මූලික උපාධිය ලබාගත් මාෂ් වැඩිදුර අධ්‍යාපනය සඳහා ජර්මනියට ගියේ ය. එකල ඇමරිකාවට වඩා ප‍ාෂාණධාතුවේදය ප්‍රචලිත ව පැවතියේ යුරොපයේ බැවිනි.

මාෂ්ගේ උපතින් තවත් අවුරුදු නවයකට පසු එඩ්වඩ් ඩ්‍රින්කර් කෝප් උපත ලැබුවේ ය. ඒ මාෂ් මෙන් ආර්ථික අහේනියක් මැද නොව පෙනිසිල්වේනියාවේ පදිංචි ව සිටි ධනවතුන් දෙපළකට දා ව ය. ළමා වියේ සිට ම ස්වභාවික ඉතිහාසය ගැන උනන්දුවක් දැක්වූ හේ ෆිලඩෙල්ෆියාවේ ස්වභාවික විද්‍යා ඇකඩමියෙන් අධ්‍යාපනය හැදෑරූ අතර වයස අවුරුදු 18 දී එහි පර්යේෂකයෙකු වශයෙන් සිය ප්‍රථම අධ්‍යයන ලිපිය පළ ක‍ළේ ය. ඇමරිකාව තුළ පැතිරී ගිය සිවිල් යුද්ධය වෙතට ඇදී යාම වැළැක්වීම අරමුණු කරගෙන ඔහුගේ පියා 1863 දී ඔහු ස්වභාවික ඉතිහාසය ගැඹුරෙන් හැදෑරීමට ජර්මනිය වෙත පිටත්කර හැරීමට පියවර ගත්තේ ය.‍ කෝප්ට මාෂ් හමුවන්නේ ද ඔවුන් දෙදෙනාගේ මිතුදම ඇති වන්නේ ද එලෙසිනි.

යළි මව් රටට පැමිණීමෙන් පසු ව ද දෙදෙනා සිය සබඳතා අත් හැරියේ නැත. ඔවුන්ගේ බැඳීම කෙසේ වී ද යත් එකිනෙකා අනෙකාට ගෞරව පිණිස තමා සොයාගත් නව ෆොසිලවලට නම් පවා තැබූහ. කෝප් 1867 දී තමා සොයාගත් නවතම උභයජීව ෆොසිලයක් මාෂ් වෙනුවෙන් Ptyonius marshii ලෙස නම් කළ අතර ඊට සුහද ප්‍රතිචාරයක් ලෙස ඊළඟ වසරේ දී ‍මාෂ් විසින් ද නිව් ජර්සියෙන් සොයාගත් පුරාතන යෝධ සර්ප විශේෂයක් Mosasaurus copeanus ලෙස නම් කරන ලදී.

මාෂ් (වම) සහ කෝප් (දකුණ)

කෙසේ නමුත් මේ මිතුරුකම ද බොහෝ මිතුරු සබඳතා මෙන් වැඩි කලක් පැවතුණේ නැත. විවිධ නොහොඳකම් දෙදෙනාගේම හිත් ඉරිතලා දැමීමට සමත් වී තිබිණි. එයට මුල් කුළුගෙඩි පහර වදින්නේ 1868 දී ය. මිත්‍රත්වයේ සංකේතයක් ලෙස කෝප් නිව් ජර්සියේ Haddonfield හි පිහි‍ටි ෆොසිල ආකරයක් පෙන්වන්නට මාෂ්ට ආරාධනා කර තිබිණි. පසු ව කෝප් හෙළි කරගත් පරිදි එහි පැමිණි මාෂ් ආපසු ගොස් තිබුණේ ආකරයේ කැනීම් කටයුතු කළ හෝප්ගේ සේවකයන් කිහිප‍ දෙනෙකු අතර රහසිගත එකඟත්වයක් ද ඇතිකර ගනිමිනි. ඒ සොයාගන්නා අලුත් ෆොසිල කොටස් හෝප්ට නො දන්වා කෙළින් ම යේල් විශ්වවිද්‍යාලයේ කටයුතු කරන තමන් වෙත එවන ලෙස ය. මේ ආචාරධර්ම විරෝධී ක්‍රියාව කෝප් තුළ මාෂ් කෙරෙහි වූ ගෞරවය පළුදු කිරීමට සමත් විය.

Elasmosaurus platyurus

කැන්සාස්හි පදිංචි යුධ හමුදා ශල්‍යවෛද්‍යවරයෙකු විසින් එවනු ලැබූ ෆොසිලයක් කෝප් අතට පත් වන්නේ ද ඔය අතර කාලයේ ය. එය අයත් වූ‍යේ මෙසෝසොයික යුගයේ විසූ ප්ලියෝසෝරස ගෝත්‍රයට අයත් සාගර වාසී ඩයිනෝසෝර විශේෂයකට ය. ෆොසිලය ප්‍රතිසංස්කරණය කළ කෝප් එය Elasmosaurus platyurus ලෙස නාමකරණය කළේ ය. ඒ වන විටත් ෆොසිල දඩයක්කරුවන් අතර නව ෆොසිල හඳුනාගැනීම හා ප්‍රකාශයට පත් කරීම යම් තරගකාරී රිද්මයකට සමවැදී පැවැතියෙන් ඔහු සිය සොයාගැනීම කඩිනමින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගත්තේ ය. නමුත් තමාට යම් තැනක් බරපතළ ලෙස මඟහැරී ඇති බව ඔහු දුටුවේ නැත. E.platyurus ප්‍රතිනිර්මාණයේ වූ එකී වැරැද්ද මුලින් ම පෙනී ගොස් තිබුණේ මාෂ්ට ය.

කෝප් ප්ලියෝසෝරසයාගේ ගෙල සහ වල්ගය පටලවාගෙන තිබිණි. ඌ සැබැවින් ම දිගු ගෙලකට සහ සාපේක්ෂ ව කෙටි වල්ගයකට හිමිකම් කීව ද කෝප්ගේ ප්‍රතිනිර්මාණය කෙටි ගෙලකටත්, දිගු වල්ගයකටත් හිමිකම් කීවේ ය. කෝප් උගේ හිස්කබල සවිකර තිබුණේ ගෙල මුදුනට නොව වල්ගාන්තයටයි! ඉන් ලැජ්ජාවට පත් කෝප් සිය දෝෂ සහිත අධ්‍යයන වාර්තාව පළ වූ American Philosophical Society ජර්නලයේ පිටපත් සියල්ල මිලට ගෙන සංසරණය නවත්වාගැනීමට උත්සාහ දැරුවත් එය මුළුමනින් ම සාර්ථක නො වූ අතර ඔහුගේ කීර්ති නාමයට කළු පැල්ලමක් වැදීම ද නොවැළැක්විය හැකි විය.

සිදු වීම් දාමය මෙසේ දිගහැරෙන විට පාෂාණධාතුවේදීන් දෙදෙනා අතර නොරිස්සුම් සහගත බව ඔද වැඩෙමින් තිබුණි. 1870 වන විට ඔවුන්ගේ ෆොසිල දඩයම වඩ වඩාත් තරඟකාරී අතට හැරුණේ ෆොසිල කැනීම සඳහා ඇමරිකාවේ බටහිර ප්‍රදේශය උචිත ම ප්‍රදේශයක් බව ඒත්තු යාමත් සමඟයි. උතුරු ඇමරිකානු මහද්වීපය පුරා විහිදී යන පරිදි ඉදි වෙමින් පැවැති transcontinental දුම්රිය මාර්ගයේ කටයුතු කළ කම්කරුවන්ගේ උදලු පහරවලින් අහම්බෙන් ෆොසිල මතු වන තරමට ම එහි ඒවා සුලබ ව පැවති බව කියැවෙයි.

දෙදෙනාගේ ම අභිප්‍රාය වූයේ අනෙකා පරයමින් වැඩි වැඩියෙන් නව සහ පරිපූර්ණ ෆොසිල රැස්කිරීමයි. මේ වන වි‍ට දෙදෙනාම බටහිර ඇමරිකාව සිය සිථිර පදිංචිය සඳහා තෝරාගෙන තිබූණි. කෝප්ගේ ඇස ගැටීමට පෙර තවමත් මුළුමනින් ම ගවේෂණයට බඳුන් කර නො තිබූ භූමිය මත හැකි තාක් ෆොසිල අනාවරණය කර ගැනීම මාෂ්ගේ පරම අභිප්‍රාය බවට පත් ව තිබු‍ණි. මාෂ් විසින් කෝප්ගේ සහ කණ්ඩායමේ අභිවෘද්ධිය ගැන ඔත්තු බැලීමට චරපුරුෂයන් පවා කුලියට ගෙන තිබුණි. මූලාශ්‍රවලට අනුව ඔවුන් කෝප් හඳුන්වා තිබුණේ ‘ජෝන්ස්’ යන කේත නාමයෙනි.

කෝප් වඩාත් උනන්දු වූයේ සිය සොයාගැනීම් වඩාත් කඩිනම්සහගත ව පළ කර ප්‍රසිද්ධ කර හැරීමටයි. ඔහු මේ වෙනුවෙන් ම 1877 දී The American Naturalist නම් ජර්නලය මිල දී ගත්තේ ය. සිය ජීවිත කාලය තුළ ඔහු ලිපි 1400ක් පළ කර ඇති අතර ජර්නලය මිල දී ගෙන 1879 – 80 අතර කාලය තුළ පමණක් අධ්‍යයන පත්‍රිකා 76ක් පළ කළේ ය. අතේ ඇඟිලි ගණනකින් දැක්විය හැකි වූ සොයාගත් ඩයිනෝසෝර විශේෂ සංඛ්‍යාව වසර කිහිපයක ඇවෑමෙන් සිය ගණනක් දක්වා වැඩුණි.

නමුත් ‘අස්ථි යුද්ධය’ කෝප්ට කරුණාවන්ත වූයේ නැත. 1882 දී සිය දේශපාලන මිත්‍ර සේවනයේ ආනුභාවයෙන් මාෂ් U.S. Geological Survey හි ප්‍රධාන පාෂාණධාතුවේදියා බවට පත් විය. ඉන් ඔහුට ‍ෆෙඩරල් අරමුදල් පරිපාලනය කිරීමේ හැකියාව ලැබුණු අතර ම යම් මට්ටමක දේශපාලන බලයක් ද ආරූඪ විය. ඔහු කෝප්ගේ ගවේෂණ කටයුතු වෙනුවෙන් හිමි වන ෆෙඩරල් මූල්‍යමය ප්‍රතිපාදන නවතා දැම්මේ ය. වසර ගණනාවක් තිස්සේ ඔවුන් දෙදෙනාගේ ම ගවේෂණ කටයුතු සඳහා එය මහෝපකාරී වී තිබුණි. ඒවායේ අවශ්‍යතාව වැඩිපුර ම දැනුණේ අතිශය වියදම්කාරී ක්‍රියාවලියක් වූ ෆොසිල රූ සටහන් ඇතුළත් වෙළුම් ග්‍රන්ථකරණයටයි.

මාෂ්ගේ ක්‍රියාපිළිවෙත හමුවේ දුර්මුඛ වූ කෝප් ෆොසිල හඹා යෑම නවතා මුළුමනින් ම නිව් මෙක්සිකෝවේ රිදී පතල් කර්මාන්තයට නැඹුරු විය. එය ද සාර්ථක වූයේ නැත. 1890 වන විට සිය බිරියගෙන් හා දරුවාගෙන් ද වෙන් වූ ඔහු ෆිලඩෙල්ෆියාවේ කුඩා තට්ටු නිවාසයක වාසය කරමින් සිටි බවට වාර්තා ඇත. ඔහු සතු වූ එක ම සම්පත වූයේ මෙතෙක් කලකට නිරාවරණය කරගත් අග්‍රගන්‍ය ‍ෆොසිල එකතුව පමණකි.

කෝප්‍ ෆොසිල කණින ලද්දේ ෆෙඩරල් මුදලින් බවත්, එනිසා ඒවායේ සැබෑ අයිතිය ඇත්තේ රජයට බවත් පවසමින් මාෂ් එම එකතුව ද රජයට පවරා ගැනීමට උත්සාහ දැරුවේ ය. නමුත් එය නිදා සිටි කෝප් යළි අවුස්සාගන්නා අනුවණ වැඩක් බව තේරුම් යන විට මාෂ් පමා වූවා වැඩි ය. කෝප් තමා ෆොසිල රැස් කරගත්තේ තමාගේ පෞද්ගලික ධනයෙන් මිස රජයේ ධනයෙන් නො වන බව නීතිය ඉදිරියේ ඔප්පු කළා පමණක් නොව මාෂ්ට පෙරළා පහර දෙන්නට ද පටන්ගත්තේ ය. ගත වූ වසර ගණනාව මුළුල්ලේ මාෂ් විසින් සිදු කරන ලද විවිධ අකටයුතුකම් ඔහු සටහන් කරගෙන තිබුණි. ඒ අතර අතයටින් කළ ගනුදෙනු, විද්‍යාත්මක අනිසිතාවන් මෙන් ම වංචා සහගත හැසිරීම් රටාවන් ද ඇතුළත් විය. ඒ සියල්ල විධිමත් ලෙස පෙළගස්වමින් ඔහු නිදහස් මාධ්‍යවේදියෙකු ලවා The New York Herald පුවත්පතේ ලිපියක් පළ කළේ ය. ‘SCIENTISTS WAGE BITTER WARFARE’ යන හිසින් යුතු ව පළ වූ එය දෙපාර්ශ්වය විසින් ම ප්‍රසිද්ධියේ කරගනු ලැබූ දෝෂාරෝපණ මාලාවක ආරම්භය විය. මාෂ් සහ කෝප් විසින් මාරුවෙන් මාරුවට සිදු කෙරුණු මේ පුවත්පත් ලිපි හරඹය පුරා සති දෙකක් ඇදී ගියේ ය. කෝප්ගේ ලිපි මඟින් මාෂ් සහ U.S. Geological Survey හි කටයුතු කළ ඔහුගේ සගයින් වෙත රජයේ මුදල් අයථා පරිහරණ හා දූෂණ චෝදනා එල්ල කෙරුණි.

මාෂ් සහ U.S. Geological Survey වෙත එල්ල වන චෝදනා ගැන කොංග්‍රස් මණ්ඩලය විසින් ස්වාධීන විමර්ෂණයක් සිදු කෙරුණු අතර ඒ වෙත ලබා දෙන මූල්‍යමය ප්‍රතිපාදන අත්හිටවී ය. අවසානයේ එහි වූ පාෂාණධාතු දෙපාර්තමේන්තුව බල රහිත වී මාෂ් දැරූ ප්‍රධානීකම ද ඔහු සතු වූ බලය ද ගසාගෙන ගියේ ය. අවසාන වශයෙන් ඔහු සතු ෆොසිල අතරින් නිශ්චිත කොටසක් තමන් වෙත පවරන මෙන් ස්මිත්සෝනියන් කෞතුකාගාරය ද බලපෑම් කළේ ය.

පාෂාණධාතුවේදීන් දෙදෙනාගේ සුප්‍රසිද්ධ ලිපි හරඹය හේතුවෙන් දෙදෙනාගේ ම කීර්ති නාමය සමාජය ඉදිරියේ දියාරු වී ගොස් තිබුණි. වසර විස්සක් තිස්සේ රැස් කරගත් තම සුවිශාල වූ ෆොසිල එකතුවට නියමිත වටිනාකම ගෙවිය හැකි ලංසුකරුවකු සොයාගැනීමට කෝප් අපොහොසත් විය. කෙසේ නමුත් අවසානයේ දී American Museum of Natural Historyහි අධිසාමාජිකයකු ඉන් කොටසක් සඳහා ඩොලර් 32,000ක ලංසුවක් තැබුවේ ය. 1897 දී රෝගී වූ එඩ්වඩ් ඩ්‍රින්කර් කෝප් මිය යන විට වසර 56 වැනි වියේ පසු විය. ඔහු මිය ගිය පසු ද මාෂ් සමග වූ සටන අත් හැරියේ නැත. මරණාසන්න ව සිටිය දී ඔහු මාෂ් වෙත අභියෝග කළේ ඔහුගේ මොළය තමාගේ මොළයට වඩා විශාල බව ඔප්පු කරන ලෙස ය. කෝප් සිය මොළය අධ්‍යයන කටයුතු සඳහා පරිත්‍යාග කළ අතර මාෂ් ඒ අභීයෝගය භාර ගත්තේ නැත. කෝප්ගේ මොළය අදටත් පෙනිසිල්වේනියා විශ්වවිද්‍යාලයේ ශීතනය වෙමින් තිබේ.

64 හැවිරිදි ව හුන් ඔත්නීල් චාල්ස් මාෂ් නියුමෝනියාව හේතුවෙන් කෝප්ගෙන් දෙ වසරකට පසු මියගියේ ය. මිය යන මොහොතේ ඔහුගේ බැංකු ගිණුමෙහි ශේෂ වී තිබුණේ ඩොලර් 186ක් පමණක් බැව් පැවසෙයි. මාෂ් සතු ව පැවැති පෞද්ගලික ෆොසිල එකතුවෙන් ටොන් 80කට අධික ප්‍රමාණයක් ස්මිත්සෝනියන් කෞතුකාගාරය විසින් අත්පත් කර ගැනුණි. එහෙත් මාෂ් සිය උරුමයෙන් වැඩි ම කොටස පරිත්‍යාග කළේ Peabody Museum of Natural History වෙතයි.

අස්ථි යුද්ධය කැලැලක් පමණ ද?

අස්ථි යුද්ධය පසුබිම් කොටගෙන පාෂාණධාතුවේදයේ තොටිල්ල බවට පත් ව තිබූ යුරෝපයේ විශේෂඥයන් සිය ඇමරිකානු ප්‍රතිපූරකයන්ගේ නො මනා හැසිරීම් රටාව ගැන නොපහන් හැඟීමකින් පසු විය. යුරෝපීය හා ඇමරිකානු පාෂාණධාතුවේදීන් අතර දශක ගණනාවක් යන තුරු ගිලිහී නො ගිය සිත් කහටක් ද අවිශ්වාසයක් ද ඉන් ඇති විය.

ඇතැම් අවස්ථාවල දී එකිනෙකා පරයා යාමට තිබූ හදිස්සිය නිසා ඇති වූ අපරික්ෂාකාරී බව හේතු‍වෙන් ඩයිනෝසරයන් පිළිබඳ වැරදි තොරතුරු සමාජගත විය. මාෂ් අතින් එක් සිරුරකට වැරැදි හිසක් සවි කිරීම නිසා Apatosaurus සහ Brontosaurus අතර යුග ගනණාවක් පැවති ව්‍යාකූලත්වය එයට හොඳ උදාහරණයකි.

විද්‍යාත්මක අභ්‍යාසයේ ජීවගුණය කෙළෙසුණු බවට පිළිගැනෙන අවස්ථා අතුරින් අස්ථි යුද්ධය ඉස්මතු වී පෙනෙයි. නමුත් එය විද්‍යාව නම් කිරි කලයට වැටුණු ගොම බින්දුවක් ලෙස පමණත් ලඝු කොට දැක්විය නො හැකි ය.

උතුරු ඇමරිකානු මහද්වීපයේ පාෂාණධාතුවේදය ස්ථාපනය වීමේ පදනම වැටුණේ ඔවුන් රැස්කරගත් නිදර්ෂකවලිනි. කෝප් මියගියේ නිදර්ෂක 13,000ක් ලොවට දායාද කරමිනි. චාල්ස් ඩාවින් විසින් ලියන ලද ලියමනක දැක්වෙන පරිදි මාෂ්ගේ ෆොසිල එකතුව “පරිණාමවාදයට සැපයුණු හොඳ ම රුකුල” යි.

දෙදෙනා අතර පැවැති තරඟකාරීත්වය නිසා වැඩි ෆොසිල ගණනක් මතු කර ගැනීමේ හැකියාව ලැබී තිබුණි. ඔවුන් මිතුරන් ලෙසින් – ඇතැම් විට සහයෝගී ව හෝ පාර්ශ්වකරුවන් ලෙසින් – ෆොසිල ගවේෂණයේ යෙදුණි නම් එතරම් නිදර්ශක ගණනක් ඉස්මතු කර ගැනීමය හැකියාව ලැබෙනු ඇත් දැ යි සැක සහිත ය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ මාෂ් විසින් නව ඩයිනොසෝර විශේෂ 80ක් පමණ ද කෝප් විසින් 56ක් පමණ ද හඳුනාගනු ලැබීමයි. ඔවුන්ගේ සොයාගැනීම් ඇමරිකානු ජන සමාජය තුළ ඩයිනොසෝරයන් ගැන උන්මාදයක් ඇති කරීමට සමත් විය. සෑම නව සොයාගැනීමකට ම ඉහළ ප්‍රචාරණයක් හිමි වූ අතර පුවත්පත් සහ සඟරා අලුතින් හෙළි කරගත් ෆොසිල ගැන නවතම තොරතුරු රූ සටහන් ද සමඟින් පළ කළේ ය. ප්‍රතිනිර්මාණය කෙරුණු ඇටසැකිලි නිදර්ෂක කෞතුකාගාර වෙත සංක්‍රමණය වූ අතර ඇතැම්වා එදා සිට අද දක්වා ම ඒ ඒ තැන්හි වැඩ හිඳී. ඒ අනුව බලන විට ඩයිනොසෝරයන් ඉහළ මහජන ආකර්ෂණයක් සහිත ජනප්‍රිය සංස්කෘතියේ සංකේතයක් බවට පත් වන්නට ද අස්ථි යුද්ධය කමටහන් සපයා දී තිබෙන බව පැහැදිලි ය.

සත්‍ය හෙට්ටිආරච්චි

 

 

 

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!